පොදුජන කේන්ද්‍රීය අරමුණක ජයග්‍රහණයට සියල්ලන්ගේ සමගිය, සහය හා බැදීම් අත්‍යවශ්‍යයි – ජනපති

ජූනි 14, 2022

    පොදුජන කේන්ද්‍රිය අරමුණක් ජයග්‍රහණය වෙනුවෙන් සියළු දෙනාගේ සමගිය, සහාය, බැදීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පොසොන් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිතුමා නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය පහතින්..

    නව අරුත් සහිත අනන්‍යතාවක් සේ ම සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කළ, මහින්දාගමනය සිදු වූ පොසොන් පොහොය ශ්‍රී ලාංකේය අප, ගෞරවයෙන් සදානුස්මරණය කරන අසිරිමත් දවසකි.

    තථාගතයන් වහන්සේ අනුදැන වදාළ ශ්‍රී සද්ධර්මය මෙරට ස්ථාපිත කිරීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ එතෙක් පැවති ශ්‍රී ලාංකේය සංස්කෘතිය අර්ථයෙන් සහ ධර්මයෙන් පෝෂණය කළහ.

    මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය ජාතික අභිවෘද්ධිය උදෙසා ද වදාළ දහමකි. එසේ ම ආධ්‍යාත්මික පුද්ගල සංවර්ධනය ඉලක්ක වූවකි. ඒ දහම වැළඳ ගත් අතීත ශ්‍රී ලංකාව ශ්‍රී විභූතියෙන් අනූන ව පැවැතුණු බව ඉතිහාසයේ සඳහන් ය.

    පොදුජන කේන්ද්‍රීය අරමුණක් ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනාගේ සමගිය, සහාය, බැඳීම් අත්‍යවශ්‍ය වේ. අතීත අපේ හෙළයන් අභියෝග ජය ගනු ලැබුවේ සාමූහික හා පොදු එකඟතා මත පිහිටා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

    විමංසනය, බුද්ධිය, නම්‍යශීලීබව හා ධර්මගරුකබව, නිර්මාණශීලී චින්තනය සහ සොබාදහම කෙරෙහි ඇති විශ්වාසය ජන සමාජයේ ම පොදු යහපතට හේතු වන බව අනුබුදු මිහිඳු මාහිමියෝ අපට පසක් කළහ. බුදු දහමෙන් ඉගැන්වෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ඇති කර ගත් අවබෝධයේ හරයයි. පසිඳුරන්ගෙන් සිත මුලාවට ඉඩ නො තැබිය යුතු ය. සත්‍ය දැක ගත හැකි වනුයේ ධර්ම ගවේෂණය තුළිනි.

    බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ධර්මය අපි ද අවබෝධ කර ගනිමින්, භව නිරෝධයත් මෙලොව සුවයත් පිණිස කටයුතු කිරීමට මෙම පොසොන් මංගල්‍යයේ අදිටන් කර ගනිමු. ඒ සඳහා සියලු දෙනාට මෙත් සිත් ඇති වේවා! යි ප්‍රාර්ථනා කරමි.

    Latest News