මහ වැසි මැද දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජූනි 01, 2022

    අත්තනගලු ඔය, කළු, කැලණි, නිල්වලා හා ගිංගග දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීස්වර මහතා සඳහන් කරයි.

    පවතින අධික වර්ෂාව හමුවේ රත්නපුර, කෑගල්ල, මාතර, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක 08 කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ ය.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව පළාතේත්, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි අතර අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාව පවතියි.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News