විමල් වීරවංශට එරෙහි නඩුවක් කල්යයි

මැයි 30, 2022

    හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අගොස්තු මස 29 දා දක්වා කල් තැබුවා.

    ඒ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි මංමාවත් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනාවකටයි.

    නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරුවරයා නියෝග කළේ එම නඩුව අගෝස්තු මස 29 දා විභාගයට ගන්නා බවයි.

    නඩුවේ සැකකරුවන් ලෙස විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීර කුමාර දිසානායක යන හිටපු අමාත්‍යවරුන් සහ මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක සහ බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න අය නම් කර තිබෙනවා.

    2016 වසරේ එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කොට කුරුදුවත්ත පොලීසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

    Latest News