සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

මැයි 18, 2022

    පසුගියදා අරලියගහ මන්දිරය අසල මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම මෙම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කළා.

    සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන සැකකරුවන් සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති වීම නිසාත් මෙම සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබූවොත්  මහජන කැළඹීමක් මතුවිය හැකි බවට කරුණු ඉදිරිපත් කරන නිසාත් ඇප පනත යටතේ මෙම සැකකරුවන්ට අදාළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා  සඳහන් කළේ.
    ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබු හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයා ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් එදින ඔවුන් ආවරණය කර හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමටත් මහේස්ත්‍රාත් වරයා නියෝග කළා.
    මෙහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රියාස් බාරි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට අත්අඩංගුවට ගෙන සිටින සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන සැකකරුවන් දෙදෙනා ඉකුත් දා ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම යන අරගල වලට පහර දීමේ සිද්ධියට සක්‍රියව දායක වී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.
    "ස්වාමීනි.. මෙම සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වරු දෙදෙනා අදාල අරගලයට පහර දීමේ සිද්ධියට සක්‍රියව දායක වී ඇති බව සාක්ෂිවලින් අනාවරණය වී තිබෙනවා. ලහිරු විරසේකර නැමැති සාක්ෂිකරු ලබාදී ඇති ප්‍රකාශය මගින් සනත් නිශාන්ත නැමැති සැකකරු "ගහපියව්.. කුඩු කරපියව්" යනුවෙන් පිරිස් ප්‍රකෝප කළ බවට කරුණු අනාවරණය වී තිබෙනවා" යනුවෙන් සඳහන් කළා.
    මෙහිදී මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අමතමින් "ලහිරු වීරසේකර නමැති පුද්ගලයාට විරුද්ධවත් කලබල කිරීම සම්බන්ධයෙන් මෙම අධිකරණයේ නඩු තිබෙනවා" යනුවෙන් සඳහන් කළා.
    වැඩි දුරටත් කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා " ලහිරු වීරසේකර නමැත්තාගේ ප්‍රකාශයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ද ප්‍රකාශ කර තිබෙනවා. එම නිලධාරීයා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද" යනුවෙන් විමසා සිටියා.
    ඊට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පැවසුවා.
    මෙම අවස්ථාවේදී අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සඳහන් කළේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි
    තව දුරටත්  කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා" ඉඳුනිල් බණ්ඩාර නැමැති සාක්ෂිකරුවෙකු ලබාදී ඇති ප්‍රකාශය තුළින් මිලාන් ජයතිලක නැමැති සැකකරු "ඕකා මරා දමන්න" යනුවෙන් සඳහන් කරමින් රැස්ව සිටි පිරිස ලවා තමන්ට  පහරදීමට සැලැස්වු බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස් තවමත් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔවුන්ගෙන් තවමත් ප්‍රකාශ සටහන් කරගෙන නැහැ. සිද්ධියට සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් වී නෑ. මීට අදාළව විශාල මහජන කැලඹීමක් තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට පමාවීම සම්බන්ධයෙනුත් මහජන කැළඹීමක් තිබෙනවා. " සඳහන් කළ ියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.
    මෙහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම සිද්ධියට අදාළ සාක්ෂි සම්පිණ්ඩන තිබේනම් කඩිනමින් අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි.
    ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තමන්ට නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා සාක්ෂි සම්පිණ්ඩන අධිකරණයට අවශ්‍ය බවත් පෙන්වා දුන්නා.
    මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා ප්‍රකාශ කළේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වූ සම්පූර්ණ සාක්ෂි සම්පිණ්ඩන අඩංගු වාර්තාවක් මීළඟ දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
    සැකකාර සනත් නිශාන්ත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද. සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් "මාගේ සේවාදායකයා ජනතාව ප්‍රකෝප කරන ආකාරය කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ. ඔහුගේ ආධාරකරුවන් ගාලුමුවදොර ප්‍රදේශයට යමින් සිටින බව දැනගත් අවස්ථාවේ දී ඔහු මාර්ගයට පැමිණියා. ඔහු ප්‍රචණ්ඩ ක්‍රියාවල සම්බන්ධ වූ බවට කිසිදු සාක්ෂියක් නෑ. ඔහු උත්සාහ කළේ තම ආධාර කරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීම වැලැක්වීමටයි. මෙම සිද්ධියේදී මගේ සේවාදායකයාටත් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා."සඳහන් කළ ජනාධිපති නීතිඥ වරයා තම සේවාදායකයා ඇපමත මුදා හරින්නැයි ඉල්ලා සිටිය.
    අනතුරුව සැකකාර  මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රාසික් සරුක් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා මෙම පහරදීමට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බව සඳහන් කළා.
    තම සේවා දායකයා කිසිදු අවස්ථාවක නීති විරෝධී ජන රාශියක සාමාජිකයෙකු නොවූ බවත් ඔහු ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට උත්සාහ කළ පුද්ගලයකු බවත් සඳහන් කර සිටියා.
    වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සරුක් මහතා සදහන් කළේ තම සේවාදායකයා ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙසයි.
    ඉන් අනතුරුව අරගල කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ කුමන්ත්‍රණ සිදු වූයේ අරලිය ගහ මන්දිරය තුළ බව පැවසුවා.
    "ස්වාමීනි.. සිද්ධිය වූ දවසේ අරලියගහ මන්දිරයේ රැස්වීමක් පැවැත්වුණා. එම රැස්වීමට පැමිණි පුද්ගලයින් පොලු මුගුරු රැගෙන විත් තිබුනේ නෑ. එහෙනම් ඔවුන්ට පොලු මුගුරු ලැබුණේ කොහෙන්ද?.. මේවා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකළ යුතුයි. එම විමර්ශනය කෙටි කාලයකින් අවසන් කරන්න බැහැ. එකට කාලය අවශ්‍යයි." යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.
    එම ඇප ඉල්ලීම්වලට විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම සැකකරුවන් කිසිදු අවස්ථාවක පොලීසියට භාර නොවූ අතර ඔවුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පැවසුවා.
    මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් තවදුරටත් රෝහල්ගතව සිටින බවත් ඔවුන්ගෙන් මේ දක්වා ප්‍රකාශ සටහන් කර ගෙන නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම අවස්ථාවේදී සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබූවොත් ඉදිරි විමර්ශන වලට බාධා සිදුවිය හැකි බවයි සඳහන් කළේ.
    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
    සැකකරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන හෙයින් ඔවුන්ට බන්ධනාගාරය තුළදී නිසි ආරක්ෂාව සපයා දීමට පියවර ගන්නා ලෙසත් එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරු විසින්  කළ ඉල්ලීමක් පිළිගනිමින් නියෝග කර සිටියා.
    මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ද අධිකරණයේ නඩුව නිරීක්ෂණය කිරීම සඳහා පෙනී සිටියා.
    Last modified on බදාදා, 18 මැයි 2022 17:35

    Latest News