ඉන්ධන ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

මැයි 07, 2022

    ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාළ කුරුණෑගල, නාරම්මල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධනවල සාම්පල ලබාගෙන මේ වනවිටත් පරික්ෂණාගාර වෙත යවා ඇති බව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    ඒ අනූව එම ගැටලුකාරී ටැංකි රථය, කොළොන්නාව නිමාව වෙත රැගෙනවිත් අවශ්‍ය පරීක්ෂණය සිදු කරන අතර අදාළ බවුසරය නාරම්මල පිරවුම්හල වෙත යාමට ප්‍රථම දඹදෙණිය ප්‍රදේශයේ පිරවුම්හල් දෙකකට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් රැගෙන ගොස් තිබේ.

    එම පිරවුම්හල් දෙක ආශ්‍රිතව සිදුකර ලද පරික්ෂණවලදී ඉන්ධනවල කිසිඳු ගැටලුවක් වාර්ථා නැහැ.

    පසුගියදා (05) දිවයින පුරා ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටර ලක්ෂ 60ක පමණ ප්‍රමාණයක් බෙදා හැර ඇති අතර බවුසර් රථ 472ක් බෙදාහැරීම් කටයුතුවල යෙදී තිබේ. ඒ කිසිදු ස්ථානයකින්ද මේ දක්වා ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධව කිසිඳු පැමිණිල්ලක් වාර්ථා වී නොමැත.

    පර්යන්තයකින් හෝ තොග ගබඩාවකින් ඉන්ධන නිකුත් කිරීමේදී නිසි ප්‍රමිතිගත ක්‍රමවේද හැමවිටම අනුගමනය කරන අතර සෑම දිනකම අදාළ නියැදි පරික්ෂාකිරීමක් සිදු කරයි. එමෙන්ම ටැංකි රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමෙන් පසු අදාළ ටැංකි රථයේ රියදුරා සමඟ ප්‍රමිතිය සම්බන්ධව සහතික කරගැනීමක් සිදු කෙරේ. ඉහත නාරම්මල පිරවුම්හලට ළඟා වූ බවුසරයද මුතුරාජවෙල පර්යන්තයෙන් පිටත් වීමට පෙර ප්‍රමිතිය සහතික කර ගෙන තිබේ.

    ගාල්ලේ ඉන්ධනහලක ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිරයන තොරතුර ගැනද පුළුල් විමර්ශනයක් සිදුකරමින් පවතියි. මේ වන විට මූලික පරීක්ෂණයන්ට අනූව එම ඉන්ධන පිරවුම්හලේ ටැංකි තුළ භූගත වතුර ඉවත් කර නිසි ක්‍රමවේද භාවිතා කර නොමැති බව පෙනී යන අතර, සම්පුර්ණ පරීක්ෂණය අවසන්වන තුරු එම පිරවුම්හල වසා දැමීමට ද මේ වන විට දැනුවත් කර ඇත.

    ඉන්ධන තොග ඇණවුම් කිරීමේ සිට පාරිභෝගිකයන්ට බෙදාහැරීම දක්වා අවස්ථා හතරකදී ඉන්ධනවල ප්‍රමිතිය පරික්ෂාවට ලක් කෙරේ. ඉන්ධන තොග විදේශීය රටවලින් නැව්ගත කිරීමට පෙර ඉන්ධනවල ප්‍රමිතිය විශේෂයෙන්ම පරික්ෂාකරනු ලැබේ. මේ පරීක්ෂණය සඳහා ඉන්ධන ලබාදෙන සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවන ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් සහභාගි වෙයි.

    ඉන්ධන නැව් මගින් කොළඹ වරායට එනආපසු ප්‍රමිතිය පරික්ෂාකිරීම කොළොන්නාව සහ සපුගස්කන්ද පරීක්ෂණාගාරවලදී සිදුකරනු ලැබේ. මෙම සාම්පල ලබාගැනීමේ සිට ප්‍රතිඵල නිකුත්කරන මොහොත දක්වා, ඉන්ධන ලබාදෙන සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවන ස්වාධීන කණ්ඩායමක් නිරීක්ෂණය සිදුකරයි.
    නැවත ටැංකිවල ඇති ඉන්ධන , බවුසර්වලට ලබාදීමට පෙරද නිසි පරිදි ප්‍රමිතිය පරික්ෂාවට භාජනය කරන අතර බවුසර් මගින් ඉන්ධන පිරවුම්හල්වලට යැවීමට පසුද අහඹු ලෙස ප්‍රමිති පරීක්ෂණයන් සිදුකරනු ලැබේ.
    කෙසේ වෙතත් ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට කිසියම් සැකයක් පවතීනම් 011-5 234 234 හා 011-5 455 130 යන ක්ෂණික අංකවලට අමතා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කාර්යාංශය දැනුම් දෙයි.

    53d7f5cd1257c43c8f9324b4d91a31d9

    Last modified on සෙනසුරාදා, 07 මැයි 2022 10:11

    Latest News