මෙරට සංචාරක කර්මාන්තය රැකගන්න සංචාරකයන් පිරිසක් විරෝධතාවයක

අප්‍රේ 27, 2022

    විදේශීය සංචාරකයන් පිරිසක් සමඟ සිගිරියේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූ තරුණ කණ්ඩායමක් ඊයේ (26) රාත්‍රී සීගිරි පව්ව ආසන්නයේ විරෝධතාවයක නිරත විය.

    මෙම විදේශීය සංචාරකයන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ තරුණ පිරිස් කියා සිටියේ රටේ පවතින තත්වය සංචාරකයන්ට හානියක් නොවන ආකාරයෙන් පවත්වාගෙන යා යුතු බවයි.

    විදේශීය සංචාරකයන් විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් කියා සිටියේ මෙරට සාමකාමී තත්වයක් පවතින නිසා සුන්දර ලංකාවේ සිරි නැරඹීම සඳහා අනික් රටවල් සංචාරකයන්ට මෙහි පැමිණෙන ලෙසයි. ඒ, ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබෙන ආදායම මේ මොහොතේ ශ්‍රී ලංකාවට ඉතා අවශ්‍යම මොහොතක් නිසයි. එබැවින් අනෙකුත් රටවල සංචාරකයන් ද ඒ සඳහා සහයෝගය ලබා දෙමින් මෙරට සංචාරය සඳහා පැමිණෙන ලෙස ඔවුහු ලෝක ජනතාවගෙන් ඉල්ලීමක් ද කරති.

    මේ විරෝධතාවට එක් වූ සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින තරුණයන් කියා සිටියේ පසුගිය කාලයේ පාස්කු ප්‍රහාරය නිසාත් කොවිඩ් වසංගතය නිසාත් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි හානි සිදු වූ බවයි. එබැවින් යම් මට්ටමකින් සංචාරකයන් මෙරටට පැමිණෙන මේ අවස්ථාවේ සමාජ අස්ථාවර භාවයක් නිසා ඇති වූ අරගල කිරීම නිසා නැවත වරක් සංචාරක ක්ෂේත්‍රය විනාශ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බව ඔවුන් කියා සිටී.

    මෙම තත්වය තේරුම් ගෙන රජය මෙන් ම විරෝධතා පවත්වන සියලුදෙනා මේ ගැන සිතා සංචාරක ක්ෂේත්‍රයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව මෙම අරගලය රැගෙන යන ලෙස ඔවුහු ජනතාවගෙන් ඉල්ලීමක් ද කරති.

    විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරක කර්මාන්තයේ නියැලී පිරිස් මෙම අවස්ථාවට එක්වූ අතර ඔවුන් සීගිරි නගරයේ සීගිරි පව්ව ආසන්නයේ රාත්‍රීයේ තම රථ වාහන එළිය උපයෝගීකරගෙන දේශීය සංගීතය ද යොදාගෙන පොස්ටර් බැනර් ප්‍රදර්ශනය කරමින් සාමකාමීව මෙම විරෝධතාවය පවත්වන්නට වූහ.

    Last modified on බදාදා, 27 අප්‍රේල් 2022 12:36

    Latest News