වතු නිවසවලට පැමිණි කදුකර කොටි දෙදෙනෙකු රක්ෂිතයට පලවහැරේ

අප්‍රේ 22, 2022

    ඊයේ (21) රාත්‍රියේ හැටන් වතු නිවාස පේලියක් අසලට පැමිණි හොඳින් වැඩුණු කදුකර කොටියන් දෙදෙනෙකු රක්ෂිතයට පලවා හැර තිබේ.

    හැටන් පොලිසියේ නිලධාරින් සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් මේ සඳහා කටයුතු කර ඇත.

    හැටන් පොලිස් වසමට අයත් ඩන්බාර් වතු යායේ වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයින් සහ එළුවන් දඩයම් කිරිම සදහා ඊයේ රාත්‍රී 7 ට පමණ කදුකර කොටියන් දෙදෙනෙකු තේ වතු යාය හරහා වතු නිවාස පේලිය අසලට පැමිණ සිටි බවත්, පසුව භිතියට පත් වතු කම්කරුවන් හැටන් පොලිසියට සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දුන් බවයි වතු කම්කරුවෝ කියා සිටින්නේ.

    නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් සහ හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණෙන විටත් කදුකර කොටියන් දෙදෙනා වතු නිවාස පේලිය අසල තේ වත්තේ රැදි සිටි නිසා එම සතුන් දෙදෙනා රක්ෂිතයට පලවා හැරිමට අලි වෙඩි කිහිපයක්ද පත්තු කිරිමට වනජිවි නිලධාරින්ට සිදු විය.

    තමන් සුරතලේට ඇති කළ සුනඛයින් කිහිප දෙනෙකු මේ වන විට අතුරුදහන් වි ඇති බවත්, එම සුනඛයින් කදුකර කොටියන් දඩයම් කර ඇති බවට සැකකරන බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

    Latest News