මාලදිවයින් අත්අඩංගුවට පත් ධීවරයින්ට නිදහස

මාර් 05, 2019

    මාලදිවයින රජය මඟින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත් ධීවරයින් 25 දෙනාගෙන් 21 දෙනෙකු රජය මැදිහත්වීමෙන් නිදහස් කළ බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    ජාතික ධීවර මහා සම්මේලනය වෙනුවෙන් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පැවැත්වූ ක්‍ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 

    ධීවර යාත්‍රා 04 හි නියමුවන් සිව්දෙනා පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු මාලදිවයින් රජය රඳවාගෙන ඇති බවත්, ඔවුන් ද නිදහස් කර ගැනීමට සහ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හතර නිදහස් කර ගැනීමට මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිවරයා මාලදිවයින් රජය දැනුවත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටි.

    ධීවරයින් නිදහස් කළද ඔවුන් මෙරටට රැගෙන ඒමට විදේශ ගමන් බලපත්‍ර ඔවුන් ළඟ නොමැතිවීම හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ඔවුන්ට අවශ්‍ය විදේශ බලපත්‍ර හැකි ඉක්මනින් සකසා ඔවුන් ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමට ඉදිරියේ දී කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. 

    මෙම පිරිස අතර වයස අවුරුදු 17ක තරුණයෙකු ද වේ. ජාත්‍යන්තර මුහුදේ ධීවර රැකියාවේ නිරත මාලදිවයින් ධීවරයින්ද අවස්ථා කිහිපයක දී මෙරට දේශසීමාව උල්ලංඝණය කර ඇත.  ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දියාව ඇතුළු වෙනත් රටවල දේශසීමා උල්ලංඝණය කිරිම අවම කිරීමට යාත්‍රා නිරීක්ෂණ උපාංග සවිකිරීම මඟින්  හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

    මෙම ධීවරයින් නිරුපද්‍රිතව ගෙන්වා ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයා සහ ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් ක්‍රියා කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 18:48

    Latest News