ඥානසාර හිමියන්ට පොදු සමාව දීමට එරෙහි නඩුවට ජනාධිපති ලේකම් කැඳවේ

මාර් 28, 2022

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කර ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

    අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    මෙම පෙත්සම අද බුවනෙක අළුවිහාරේ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

    ඊට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දුන් අතර පසුව නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවා.

    ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 17 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියම කළා.

    පෙත්සම්කාර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය මගින් වසර 19 ක සිරදඬුවමක් නියම කර එය වසර 06 කින් ගෙවී යා යුතු බවට නියෝගයක් නිකුත් කළ බවයි.

    එම දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද අනුමත කළ බව ඇය පෙන්වා දෙනවා.

    එසේ තිබියදී සම්මත නීතිමය ක්‍රියා පටිපාටිය බැහැර කොට ඥානසාර හිමියන්ට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි ඇය පෙන්වා දෙන්නේ.

    මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඥානසාර හිමියන්ට ප්‍රදානය කළ පොදු සමාව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    මේ අතර ඥානසාර හිමියන් පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ද සලකා බැලීම සඳහා මැයි 17 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    Latest News