හිටපු ජනපති තමන්ට එරෙහි පෙත්සම් සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

මාර් 28, 2022

    කොළඹ, පැජට් පාරේ පිහිටි සිය නිල නිවස ලබාගත් ආකාරය තුළින් මූලික අයිතීන් කඩ වන බවට චෝදනා කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා විනිසුරුවරු පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබෙනවා.

    මෙම පෙත්සමට අදාළව මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටින්නේ මෙම පෙත්සමින් අභියෝගයට ලක් කර ඇති කරුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 43(1),43(2)යන වගන්ති සමග සලකා බැලිය යුතු කරුණක් බැවින් එය පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිය යුතු බවයි.

    එබැවින් එම පෙත්සම නැවත කැදවීමේ දිනයට පෙර එම විනිසුරු මඩුල්ල නම් කිරීම පිළිබඳව සුදුසු තීරණයක් ගන්නා ලෙසත් එම මෝසම මගින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

    පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියා සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරමින් තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ වාසය කළ කොළඹ පැජට් පාරේ පිහිටි නිල නිවස විශ්‍රාම යාමෙන් අනතුරුවද භාවිතා කිරීම සඳහා අනුමැතියක් ලබාගන ඇති බවයි.

    ජනාධිපතිවරයා අනුගමනය කළ මෙම ක්‍රියාවලිය තුළ පාරදෘශ්‍ය භාවයක් දක්නට නොලැබෙන බවත් ඒ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

    Latest News