"දෙයියා"ගේ ප්‍රතිකාරය වැරදී තිදරු පියා මරුට (ඡායාරූප)

මාර් 04, 2019

    දේව ආරූඩයෙන් ප්‍රතිකාර ලබාගැනීමට රැගෙන ගිය ගලේවෙල ප්‍රදේශයේ තිදරු පියෙක් අද (04) අලුයම එම ස්ථානයේ දී මිය ගොස් ඇත.

    ඔහුගේ දරුවන් කියා සිටියේ සිය පියා කලක පටන් යම්කිසි අදෘෂ්‍යමාන බලවේගයකින් ක්‍රියා කරන්නට වූ අතර ඒ අනුව ඊට ප්‍රතිකාර කිරීමට මෙම "දෙයියා මාමා දේවාලය " නමින් හඳුන්වන දේවාලයට රැගෙන ආ බවයි.

    එහිදී එහි කපු මහතා දේවාලයට ගොස් නූල් දමා ශාන්තිකර්මයක් සිදුකොට කපු මහතාගේ නිවසේ සාලයට රැගෙන යද්දී රෝගියා සිහිසුන් වී ඇත. රෝගය සුව වීමට මද වේලාවක් ඒ ආකාරයෙන්ම රෝගියා සිහි මුර්ජාවෙන් සිටිය යුතු බව කපුමහතා කියු බව මිය ගිය අයගේ දරුවෝ කියා සිටිති.

    මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල දේවහුව පන්ගල ප්‍රදේශයේ පදිංචි වසය 68ක් වන කේ. ජී. ජයසේන නැමැති තිදරු පියෙකි. ඔහු කලක පටන් හෘදයාබාධ සහ සිරුරේ සීනි මට්ටම ඉහළ යෑම යන රෝග සඳහා ‍ප්‍රතිකාර ලබමින් සිට ඇත. කෙසේවෙතත් උදෑසන වන විට එම රෝගියා මියගොස් බව දැනගෙන ගලේවෙල පොලීසියට පැමිණිලි කළ බව ඥාතීහු කියති.

    වසම භාර ග්‍රාමනිලධාරි වරයා සහ ගලේවෙල පොලිසිය පැමිණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමේදී දේවාලයේ කපු මහතා කියා සිටියේ තමන් කිසිදු අකුරු කියවීමට ලිවීමට නොහැකි අයෙකු බවයි. එමෙන්ම තමන් දේවාරූඪයෙන් ප්‍රතිකාර සිදුකරන බවත් දේව දේවාරූඪය පවතින වේලාවේ කුමක් කරනවාද කුමක් සිදුවෙනවාද යන්න තමන් පියවි සිහියට ආ වෙලාවට නොදන්නා බවත්ය. එමෙන්ම එම අවස්ථාවේ සිදුවන ක්‍රියාදාමයන් කුමක්ද යන්න තමන් නොදන්නා බවයි. තවද මියගිය අයගේ ඥාතීහු මෙම දේවාලය පිළිබඳව දැඩි විශ්වාසයක් පවතින බව කියා සිටිති.

    මෙම මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් කර අධිකරණයට කරුණු වාර්තා කොට ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන බව ගලෙවෙල පොලිසිය කියා සිටී.

    deva01

    deva02

    deva03

    Latest News