රනිල් වික්‍රමසිංහට එරෙහි දේශපාලන පලිගැනීම් කොමිසමේ නිර්දේශ, ගැන ගත් තීරණය

මාර් 14, 2022

    දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය සොයා බැලීම සඳහා පත් කොට ඇති විශේෂ පරීක්ෂණ කොමිසමේ තීරණය ලැබෙන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොකරන බව ජනාධිපති ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

    හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහිර් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලූනා.

    මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් සිදු කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කළ හැකි ආකාරය අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ කොමිසමක් පත් කර ඇති බවයි.

    එම විශේෂ පරීක්ෂණ කොමිසමේ තීරණය ලැබෙන තෙක් මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් සිදු කර ඇති නිර්දේශ මත ඉදිරි පියවර නොගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියා.

    ඒ අනුව අදාල දැනුම්දීම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සටහන් කරගත්තා.

    ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තර කරුවන් වෙත නොතීසි නිකුත් කරන්නේ ද? නැද්ද ? යන නියෝගය අප්‍රේල් මස 06 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

    පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ ඉකුත් යහපාලන රජයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමාට එරෙහිව නිර්දේශ නිකුත් කර ඇති බවයි.

    දූෂණ මර්දන ලේකම් කාර්යාල කටයුතුවලට තමන් සම්බන්ධ නොවූ බව පවසන හිටපු අග්‍රාමාත්‍යවරයා එය කමිටුව අමාත්‍ය මණ්ඩල අනුමැතියක් මත ස්ථාපිත කෙරුණු බවත් ඊට මුදල් සැපයීම රජයේ පිළිගත් රෙගුලාසි වලට අනුකූලව බවත් පවසනවා.

    එබැවින් අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ නීතියට පටහැනි බවත් ඒවා බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා තිබෙනවා.

    Latest News