අනුර කුමාරට එරෙහි දේශපාලන පළීගැනීම් කොමිසමේ නිර්දේශ, ගැන ගත් තීරණය

මාර් 14, 2022

    දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය, සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත් කළ විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණය ලැබෙන තුරු අනුර කුමාර දිසානායකට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව ජනාධිපති ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

    හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගොනු කළ පෙත්සම අද කැඳවනු ලැබූවා. ඒ අවස්ථාවේදී ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී එම් සමරකෝන් සහ ලෆාර් තාහිර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

    මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් සිදු කර තිබෙන නිර්දේශය අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ කොමිසමක් පත් කර ඇති බවයි.

    එම විශේෂ පරීක්ෂණ කොමිසමේ තීරණය ලැබෙන තෙක් පෙත්සම්කරු සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් සිදු කර ඇති නිර්දේශ මත ඉදිරි පියවර නොගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියා.

    ඒ අනුව අදාල දැනුම්දීම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සටහන් කරගත්තා.

    මෙහිදී පෙත්සම්කාර අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව වගඋත්තරකාර කොමිසම විසින් සිදුකර ඇති නිර්දේශය මුළුමනින්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා.

    මෙවැනි නිර්දේශ නිකුත් කිරීමට අදාළ කොමිසමට බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළා.

    එබැවින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 05 වනදා කැඳවන ලෙස නියම කළා.

    Latest News