අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට සූර්ය පැනල...

නොවැ 26, 2020

    අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් ඉලක්ක කරගනිමින් සූර්ය පැනල ලබාදීමේ ව්‍යාපෘතියක් දියත් කිරිමට සූර්ය, සුළං සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සැලසුම් කර තිබේ.

    ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව වසර 2030 වනවිට මෙරට බලශක්ති අවශ්‍යතාවයන්ගෙන් 80% ක ප්‍රමාණයක් පුනර්ජනනීය සහ හරිත බලශක්ති ප්‍රභවයන්ගෙන් (පිවිතුරු බලශක්ති ප්‍රභව) ලබාගැනීමේ අපේක්ෂාවයි.

    නව අයවැය යෝජනාවක් වන මෙම ව්‍යාපෘතිය පිළිබදව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ මහජන බැංකුව සමග විශේෂ නිල සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ එම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

    ‍මෙම ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් රාජ්‍ය බැංකු සම්බන්ධ කරගනිමින් අවම පොලී අනුපාතයක් මත සහන ණය යෝජනා කුමයක් තුළින් අදාළ සූර්ය පැනල ලබාදීමට සූර්ය, සුළං සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර ඒ අනූව මහජන බැංකු‍වේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් මෙම විශේෂ නිල සාකච්ඡාව පැවැත්විණ.

    ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සමෘද්ධිලාභීන් ලක්ෂයක නිවාස පියසි මත සූර්ය පැනල සවිකර, එමගින් ඔවුන්ගේ විදුලිබිල ශුන්‍ය කිරීමටත්, ඒ සමගින්ම ඔවුන්ගේ ආර්ථිකය සරු කිරීමටත් අපේක්ෂිතය.

    විදුලි පාරිභෝගිකයින් විදුලි නිෂ්පාදකයින් බවට පත්කිරීමේ මෙම නව ව්‍යාපෘතිය තුළින් අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභීන් එම මට්ටමෙන් ඉවත්කර ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීමටත් ජාතික විදුලිබල පද්ධතියට සූර්ය විදුලිබලයේ දායකත්වය වර්ධනය කිරීමටත් හැකිවෙතැයි මෙහිදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අවධාරණය කරන ලදී.

    ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමය පිළිබදවත්, එය ක්‍රියාත්මක කිරීමේ ආකාරය, පොලී අනුපාතය තීරණය කිරීම මෙන්ම අයකර ගැනී‍මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අදාළ මූල්‍ය ආයතනයේ සභාපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.

    ඊට අමතරව සූර්ය කට්ටල සදහා රක්ෂණ ආවරණයක් ලබාදීමට අවධානය යොමුකරන බව අදාළ මූල්යය නිලධාරීන් පැවසූ අතර සියලු සවි කිරීම් සුනිත්ය බලශක්ති අධිකාරියේ නියාමනයන්ට අනුව සිදු කරනු ලබන බව සුනිත්යව අධිකාරියේ සභාපති රංජිත් සේපාල සහ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු යන මහත්වරුන් අවධාරණය කළහ.

    විශේෂයෙන්ම මෙම ණය යෝජනා ක්‍රමයේ දී කිසිදු මූලික ගෙවීමක් නොමැති වියයුතු බවත්, ණය ආපසු ගෙවිමේ කාලය වසර 07ක් වත් වියයුතු බවත්, පොලී අනුපාතය 4% ක් වැනි අවම මට්ටමකට ගෙන ආ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් මූල්‍ය ආයතන නිලධාරීන් වෙත දැනුම් දෙන ලදී.

    මෙම සාකච්ඡාවේ දී කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, විදුලිබල ක්ෂේත්‍රයේ නව අයවැය යෝජනා පිළිබදව වැඩිදුරටත් පැහැදිළි කළේය.

    ඒ අනුව ගමට බලාගාරයක් - ගමට ව්‍යවසායකයෙක් සංකල්පය යටතේ ග්‍රාමීය මට්ටමෙන් තෝරාගත් ව්‍යවසායකයින්ගේ ආයෝජන මගින් විදුලිය බෙදාහැරීමේ පද්ධතියට අයත් ට්‍රාන්ස්ෆෝමර් 10,000 ක් සූර්යජනන බලාගාරවලට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද පැහැදිළි කළේය.

    මෙම සාකච්ඡාවට මහජන බැංකුවේ සභාපතා සුජීව රාජපක්ෂ,සාමාන්‍යාධිකාරී රංජිත්, සූර්ය, සුළං සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්ත සමරකෝන් මහතාද සහභාගි විය.

    Latest News