අකුරැස්ස ප්‍රා.සභාවේ හිටපු සභාපතිවරයාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අප්‍රේල් මස 05

මාර් 08, 2022

    බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම වී සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට අදාළ තීන්දුව අප්‍රේල් මස 05 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.


    අදාළ පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.

    සිර දඬුවම් නියම වී සිටින සාරුව ලියනගේ සුනිල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා වරදකරු කරමින් මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දුව නීතියට පටහැනි බව සඳහන් කළා.

    තීන්දුව ලබා දුන් මහාධිකරණ විනිසුරුවරයා නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම තීරණයට එළැඹ ඇති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

    විත්තිකරු විසින් තමාව දුෂණය නොකළ බවට වින්දිත දැරිය අධිකරණය හමුවේ සාක්ෂි දී තිබියදී වීඩියෝ සාක්ෂියක් උපයෝගී කරගෙන තම සේවාදායකයා වරදකරු කිරීම පිළිගත නොහැකි බවත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළා.

    මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව නීත්‍යනුකූල බව පැවසුවා.

    එබැවින් විත්තිකරුගේ මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අප්‍රේල් මස 05 වනදා ප්‍රකාශයට පත් වෙන බව නිවේදනය කලා.

    බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණය විසින් 2020 වසරේ ජනවාරි මස බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කරනු ලැබුවා.

    Last modified on අඟහරුවාදා, 08 මාර්තු 2022 16:18

    Latest News