සාරුව සුනිල්ගේ ඇප පෙත්සම විභාගයට නොතීසි නිකුත් කරයි

ජූනි 22, 2021

    සිරදඬුවම් නියම වී සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ ඇප පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නොතීසි නිකුත් කරයි.

    බාල වයස්කාර දැරියක් දූෂණය කළේ යෑයි චෝදනා එල්ල වී සිර දඬුවම් නියම වී සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා විසින් මෙම ඇප පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    අදාළ පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.

    ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් ජුලි මස 20 වන දා කරුණු දක්වන ලෙස දන්වා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කෙරුණා.

    පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු අතින් තමා දූෂණය නොවූ බව පැමිණිලිකාර දැරිය විසින් මහාධිකරණ නඩු විභාගයේ දී ප්‍රකාශ කර ඇතැයි සඳහන් කළා.

    තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඔප්පු කිරීම සඳහා වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කළත් එම වීඩියෝ සාක්ෂි තහවුරු කෙරෙන ස්වාධීන සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇතැයිද ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා පෙන්වා දුන්නා.

    ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට මහධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් මේ හේතුවෙන් තම සේවාදායකයාගේ අභියාචනා පෙත්සම් විභාගය අවසන් වන තුරු ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා අධිකරණ ඉල්ලා සිටිය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාග කිරීමට අවසර දෙමින් ඒ වග උත්තරකරු ලෙස නම් කර සිටි නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කළා.

    බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කරනු ලැබුවා.

    එම දඬුවමට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇති හෙයින් එම ඇපෑල විභාග අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු තමන්ව ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් මෙම ඇප පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News