දැරියක් දූෂණය කළ අකුරැස්ස හිටපු සභාපති සාරුව සුනිල්ට සිරදඬුවම් (වීඩියෝ)

ජන 17, 2020
  • අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් 14 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් අද නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යගේ පටබැඳී මහතා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

    ඊට අමතරව රුපියල් 25,000 ක දඩයක් නියම කෙරිණ. අතවරයට පත් දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙස මහධිකරණ විනිසුරු නියෝග කළේය.

    මහජන නියෝජිතයින් මේ ආකාරයේ කටයුතු වල නිරත වීම බරපතළ තත්ත්වයක් බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසිය.

    2012 වසරේ මැයි 23 වනදා සහ ජුනි දෙවැනි දා දක්වා කාලසීමාව තුළ 14 හැවිරිදි දැරියක ලිංගික දූෂණය කිරීම සම්බන්ධයෙන් නීතිපති විසින් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

    දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුගේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට බාලවයස්කාර දරුවන් තිදෙනකු සිටින බවත් ඔහුට පෙර වැරදි නොමැති හෙයින් ලිහිල් දඬුවමක් නියම කරන මෙන් ඉල්ලා සිටියේය.

    කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ආදිත්‍යගේ පටබැඳී මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    Last modified on සිකුරාදා, 17 ජනවාරි 2020 20:17

    Latest News