නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කෙරේ

මාර් 08, 2022

    අසීමිත ගෞරවාදරයකට පාත්‍රවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අනාගත පරපුරට දැකගැනීම සඳහා සිරුර සංරක්ෂණය කිරීමට තීරණය කර තිබේ.

    හස්තිරාජයාගේ සිරුර සංරක්ෂණය කරන්නේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවයි. ඉතා සියුම් මෙහෙයුමක් වන මෙම සංරක්ෂණ කටයුත්ත සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවයි, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනූජා කස්තුරුආරච්චි පවසන්නේ.

    රාජා හස්තියා මිය ගියේ ඊයේ (07) අළුයමයි. ගම්පහ, වැලිවේරිය, නැදුන්ගමුවේ ජීවත්වූ මෙම හස්තියා මියයන විට 69 වියේ පසුවිය. උසින් අඩි 10 හමාරක් පමණ ද අඩි 05ක් පමණ දිගැති මෙම ගාම්භීර හස්තියාට ස්වේත වර්ණ දළ යුගලක් ද හිමියි.

    නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස ඊයේ (07) නම් කෙරුණු අතර හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බවයි, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පැවසුවේ.

    Last modified on අඟහරුවාදා, 08 මාර්තු 2022 11:42

    Latest News