’’රාජාට’’ ගෞරව දක්වන්න මහ ජනකායක්....(වීඩියෝ)

මාර් 07, 2022
  • මහනුවර ඇසළ පෙහැර මංගල්‍යයේ පෙරහැර කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්ථියා අද (07) අලුයම මියගියා.

    ඒ ගම්පහ නැදුන්ගමුවේදී. මියයන විට හස්ථියාගේ වයස අවුරුදු 69ක්. නීලම්මහර වෙද හාමුදුරුවන්ට ඉන්දියාවෙන් ලැබුණු ත්‍යාගයක් ලෙසයි නැඳුන්ගමුවේ රාජා මෙරටට හිමිවුණේ. ඒ, එකල ඉන්දියාවේ ධනවත් පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ලැබුණු තුඩු පඬුරක් ලෙසයි. නැඳුන්ගමුවේ රාජා සමඟ තවත් ඇත් පැටවෙකු ලංකාවට පැමිණියා. ඒ, පසු කලෙක ගංගාරාම විහාරස්ථානයේ දී මියගිය නවම් රාජායි. නීලම්මහර වෙද හාමුදුරුවන්ගෙන් පසු හොරණ ප්‍රදේශයේ ලී මඩුවක සිටි නැඳුන්ගමුවේ රාජා වත්මන් හිමිකරු වන නැඳුන්ගමුවේ හර්ෂ ධර්මවිජය මහතාගේ පියා වන ධර්මවිජය‍ වෙද මහතා විසින් මිලදී ගනු ලැබුවා. ඉන් පසු ගම්පහ නැඳුන්ගමුවේ හැදී හැඩුණු මේ දැවැන්තයා මහනුවර දළඳා පෙරහැරට මුලින්ම සහභාගි වූයේ 2005 වසරේදී.

    ඉතා තැන්පත් ගතිගුණ ඇති නැඳුන්ගමුවේ රාජා කිසි දිනෙක වාහනයක ගමන් කර නැහැ. මහනුවර දළඳා පෙරහැර, සබරගමුව සමන් දේවාල පෙරහැර, බෙල්ලන්විල පෙරහැර ඇතුළු දිවයිනේ බොහෝ පෙරහැර සඳහා රාජා ගමන් කරන්නේ පා ගමනින්මයි. මෙසේ යන රාජාට මඟ දෙපසින් ලැබෙන ගෞරව, පුද සත්කාරවල අඩුවක් නැහැ. මීට වසර කිහිපයක සිට පෙරහැරට යන රාජාට විශේෂ පොලිස් සහ හමුදා ආරක්‍ෂාවක් ලබාදීමට රජය පියවර ගත්තා. දළදා කරඬුව වැඩම කරවීමට භාග්‍යය ලද ඇතුන් කිහිප දෙනා අතර, නැඳුන්ගමුවේ රාජා ප්‍රමුඛයායි.

    ආසියාවේ හීලෑ අලි, ඇතුන් අතර, රාජා විශාලතම ඇතුන් කිහිප දෙනාගෙන් කෙනෙක්. දළඳා පෙරහැරේදී ඉන්දිරාජා සහ කතරගම වාසනා දෑලේ තබාගෙන නැඳුන්ගමුවේ රාජා කරඬුව වැඩම කරවන දසුන ඉතා චමත්කාර ජනකයි. ගිය වසරේ පැවති දළඳා පෙරහැරට සහභාගි වූ රාජා අවසන් රන්දෝලි මහ පෙරහැරේදී හොඬින් පාවඩය සකස් කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා. පසුගිය දළඳා පෙරහැර නිම කර නිවසට පැමිණි රාජා පිළිගැනීමට විශාල පිරිසක් එක්ව සිටියා.

    කිසිදු අසනීප තත්වයක් නොතිබූ රාජා, ඊයේ ආහාර ගැනීමෙන් වැළකී සිටියා. කෙසේ වුවද නිදාගෙන සිටින ඉරියව්වෙන්ම රාජා අද අලුයම 5.30ට පමණ මියගොස් තිබෙනවා. නැඳුන්ගමුවේ රාජාගේ දේහය දැකබලා ගැනීමට උදෑසන සිට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    මේ අතර, නැඳුන්ගමුවේ රාජා හස්ථිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ජනාධිපතිතුමා විසින් උපදෙස් ද ලබාදුන්නා.

    අනාගත පරපුරට දැකගැනීම සඳහා නැඳුන්ගමුවේ හස්ථිරාජයාගේ සිරුර සංරක්‍ෂණය කරන ලෙස ද ජනාධිපතිතුමා දැනුම් දී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් සිදු කරනු ලබනවා. අද පස්වරුවේ, නැඳුන්ගමුව නිවසේ දී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව, සංරක්‍ෂණ කටයුතු සඳහා හස්ථියාගේ සිරුර රැගෙන යාමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 08 මාර්තු 2022 07:48

    Latest News