බොරැල්ල දේවස්ථානයේ බෝම්බ තැබීමේ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

පෙබ 28, 2022

    බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික වෛද්‍යවරයා සහ පොලිස් රැඳවුම් භාරයේ සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉකුත් දින රක්ෂිත බන්ධනාගාර ගත කළ විශ්‍රාමික වෛද්‍ය ෂර්ලි හේරත් මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

    එහෙත් මෙම බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත පොලිසිය භාරයේ රදවාගෙන ප්‍රශ්න කළ ලියනගේ දයාසේන සහ රුවන්සිරි හේමචන්ද්‍ර යන සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

    ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා "ස්වාමීනි.. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් කටයුතු නොකිරීමට පැමිණිල්ල තීරණය කර තිබෙනවා. එහෙත් පීඩාකාරී ආයුධ පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔවුන්ට එරෙහිව තවදුරටත් විමර්ශන සිදුකරන බව දැනුම් දිය යුතුයි. මෙම සිද්ධියට අමතරව තවත් ස්ථාන දෙකක බෝම්බ තැබීමේ සිද්ධීන් පිළිබඳව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙනවා. එක් බෝම්බයක් ලැබී තිබෙන ආකාරය පිළිබඳව තාමත් තොරතුරු අනාවරණය වී නැහැ. මෙම සැකකරුවන් සම්බන්ධතා පවත්වා ඇති ආකාරය පිළිබඳව දුරකථන ඇමතුම් වාර්තා ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා" යනුවෙන් සඳහන් කළ රජයේ නීතිඥවරයා අනතුරුව මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.

    ඉන් අනතුරුව සැකකාර විශ්‍රාමික වෛද්‍ය ෂර්ලි හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්

    "ස්වාමීනි, මාගේ සේවාදායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කටයුතු නොකිරීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් මා පළමුව පැමිණිල්ලට ස්තූති කරනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වන වගන්තිය යටතේ මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අධිකරණය හමුවේ පැහැදිලි සාක්ෂි තිබිය යුතුයි. මෙම සිද්ධියට සම්බන්ධ බෝම්බය මාගේ සේවාදායකයාගේ සන්තකයේ හෝ ඔහුගේ පාලනයට නතු ස්ථානයක තිබී සොයාගෙන නැහැ. ඔහුගේ ප්‍රකාශයක් මත මෙම බෝම්බය පොලිසිය විසින් සොයා ගත්තෙත් නැහැ.
    පොලිසිය විසින් සොයා ගත් ද්‍රව්‍යය බෝම්බයක් බවට තහවුරු කෙරෙන රජයේ රසපරීක්ෂක වාර්තාවක් ද මේ දක්වා ඉදිරිපත් වී නැහැ. සැකකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු නොකිරීමටත් පැමිණිල්ල මේ වන විට තීරණය කර තිබෙනවා. එසේ නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාගේ සේවාදායකයාට එරෙහිව කිසියම් සැකකරුවකු ප්‍රකාශයක් ලබාදී තිබුණත් එය ඔහුට එරෙහිව අදාළ කරගන්න බැහැ " යනුවෙන් ප්‍රකාශ කළ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා තම සේවා දායකයා පීඩාකාරී ආයුධ පනත යටතේ වරදක් සිදු කළ බවට මේ වනවිට පොලිසිය මගින් බැලූබැල්මට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති හෙයින් ඔහු මුදා හරින ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් ද මෙම ඉල්ලීමම ඉදිරිපත් කළා.

    එම ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ රජයේ නීතිඥ හංස අබේරත්න මහතා" ස්වාමීනි... පීඩාකාරී ආයුධ පනත යටතේ මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු අප අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මෙම පරීක්ෂණ වල අන්තර්ගත සාක්ෂි සාරාංශයක් ද අධිකරණයට ඉදිරිපත් කළා."යනුවෙන් ප්‍රකාශ කළ රජයේ නීතිඥවරයා මෙම සැකකරුවන්ට එරෙහිව පැහැදිලි සාක්ෂි මේ වන විට අධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති හෙයින් ඔවුන් මුදා හරින ලෙස විත්තිය විසින් කරනු ලබන ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය"

    "මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ පටන් වරින්වර ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය පොලිසිය විසින් අධිකරණයට වාර්තා කලා. බෝම්බයක් පිළිබඳව තොරතුරු අනාවරණය වුවහොත් මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තකා ඒ පිළිබඳව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදු කිරීමට පොලිසියට වගකීමක් පැවරෙනවා. මෙම සැකකරුවන් බෝම්බ රැගෙන ඒම, ඒවා ස්ථානගත කිරීම හා සැලසුම් කිරීම සිදුකර ඇති බවට පැහැදිලි සාක්ෂි මේ වන විට මා ඉදිරියේ අනාවරණය වී තිබෙනවා. විත්තියේ සඳහන් කරන ආකාරයට විමර්ශනවලදී සැකකරුවන්ට අගතියක් හෝ අසාධාරණයක් සිදුවී ඇති බවක් මා හට නිරීක්ෂණය වන්නේ නැහැ. "යනුවෙන් ප්‍රකාශ කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති හෙයින් ඔවුන් මුදා හරින ලෙස විත්තියේ නීතිඥවරු විසින් කරනු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව නියෝග කළා.

    ඉන් අනතුරුව අදාළ සැකකරුවන් ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

    සැකකාර වෛද්‍ය ෂර්ලි හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය රක්ෂිත බන්ධනාගාරයේ දී සැකකරුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරිවරයා ගේ අවධානයට යොමු කරන බව දැනුම් දුන්නා.

    මෙම නඩු විභාගය පැවැත්වෙන අතර වාරයේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා මෙම නඩු විභාගයේදී තමන් විසින් ඉදිරිපත් කරන කරුණු කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා විසින් ඔහුගේ ජංගම දුරකථනය ඔස්සේ පටිගත කරමින් සිටින බවට චෝදනා කර සිටියා.

    එහෙත් සිය ජංගම දුරකථනය අධිකරණයට ඉදිරිපත් කරමින් එම චෝදනාව තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණය හමුවේ පැවසුවා.

    නඩු විභාගයක් පවත්වන අවස්ථාවක මෙවැනි අනවශ්‍ය කරුණු මතු කිරීමෙන් වලකින ලෙස සියලු පාර්ශවයන්ට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය නඩුවේ දේශන පටිගත කළ බවට කරුණු තිබේ නම් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත් එසේ පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් තමා ඒ පිළිබඳව සොයා බලන බවත් මහේස්ත්‍රාත්වරිය විසින් විත්තියේ නීතිඥවරයාට දන්වා සිටියා.

    එසේ නොමැතිව පදනම් විරහිත කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් අධිකරණයේ කාලය අපතේ යාමක් සිදුවන බවත් මහේස්ත්‍රාත්වරිය විසින් චෝදනා කර සිටියා.

    ඒ අතර බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගු ගත් විශ්‍රාමික වෛද්‍ය ෂර්ලි හේරත් මහතා මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන මැයි මස 23 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම එල් .ටී. බී .දෙහිදෙනිය , යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

    එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා සඳහන් කළේ මෙම වෛද්‍යවරයා ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුනොකිරීමට නීතිපති වරයා කටයුතු කරන බව දැනුම් දී ඇති බවයි.

    පෙත්සම්කාර වෛද්‍යවරයාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොකඩවා ලබා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.

    එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය සැකකාර වෛද්‍යවරයා ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වන ඉල්ලීම් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දෙන ලෙස පෙත්සම්කරු ගේ නීතීඥ වරයාට දැනුම් දුන්නා.

    එම ඉල්ලීම් සම්බන්ධයෙන් සහනයක් නොලැබුණහොත් මෝසමක් මගින් එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දන්වා සිටියා.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, නීතිපති ඇතුළු නම දෙනකු නම් කර සිටිනවා.

    Latest News