එ.ජා. මානව හිමිකම් කවුන්සලයේ 49 වැනි සැසිවාරය ඇරඹේ....

පෙබ 28, 2022

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 49 වැනි සැසිවාරය අද (28) ආරම්භ කෙරුණා.

    ඒ, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී. ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙන්නේ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතායි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය අද ආරම්භ කෙරුණේ, රුසියානු-යුක්‍රේන අර්බුදයට මූලිකත්වය දෙමින්. එහි ආරම්භක දේශනය, වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් විසින් පවත්වනු ලැබුවා. ඔහු ප්‍රකාශ කළේ, යුක්‍රේනයේ සිදු කෙරෙන යුද මෙහෙයුම් උත්සන්නවීම හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝණය වීම්ද බෙහෙවින් උග්‍රවීමට ඉඩ ඇති බවයි.

    මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලට් ද, සමුළුව අමතමින් කියා සිටියේ, අර්බුදය හේතුවෙන් සිවිල් වැසියන් එකසිය දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති බවට වාර්තා වී ඇති අතර., එම සංඛ්‍යාව තවදුරටත් ඉහළයාමේ හැකියාව පවතින බවයි. අනෙකුත් විදේශීය නියෝජිතයන් ද සැසිවාරය අමතමින් රුසියානු-යුක්‍රේන අර්බුදය ඇතුළු අනෙකුත් ගෝලීය අර්බුද හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

    මේ අතර, ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ අන්තර් ක්‍රියාකාරි සංවාදයක් ලබන 3 වැනිදා පැවැත්වෙනවා. එහිදී, ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස් වාර්තාව කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇති. ඉන් පසු වාර්තාවට ශ්‍රී ලංකාව මේ වනවිටත් ලබාදී ඇති ලිඛිත ප්‍රතිචාරය පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතයි.

    Latest News