බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන සිද්ධියේ සැකකාර වෛද්‍යවරයා රිමාන්ඩ්

පෙබ 14, 2022

    බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටී සැකකාර වෛද්‍ය ෂර්ලි හේරත් නැමැත්තා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළා.

    මෙම සැකකරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ ද? නැද්ද? යන නියෝගය මීළඟ නඩු දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ.

    කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවා සිටි සැකකාර වෛද්‍යවරයා අද අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

    සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය යටතේ මෙම සැකකරු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කළ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් සැකකරුවන් 4 දෙනෙකු මේ වන විට මුදා හැර තිබෙන බව සඳහන් කළා.

    මෙම සැකකාර වෛද්‍යවරයා බොරැල්ල දේවස්ථානයට අමතරව ලංකා රෝහල හා බෙල්ලන්විල රජමහා විහාරවල බෝම්බ තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැලසුම්කරු බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම සිද්ධීන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව කියා සිටියා.

    බොරැල්ලේ දේවස්ථානයේ තැබීම සඳහා බෝම්බය ලබා දුන්නේ කවුරුන්ද? යන්න මෙම සැකකරු විසින් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

    මෙහිදී සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් සැකකරුවකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා විශ්වාසනීය සාක්ෂි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම අවශ්‍ය බව පෙන්වා දුන්නා.

    මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වල විශ්වාසනීය සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වී තිබෙන බවත් ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නොහැකි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

    ඒ අනුව අදාළ සැකකරු ඕනෑම කොන්දේසියක් මත මුදා හරින ලෙසයි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා "ස්වාමීනි... මෙම සැකකරු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි දැනටමත් අපි අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම බෝම්බ තැබීම සඳහා සැකකරු විසින් ඔහුගේ ගෝලයින්ට රුපියල් 40000 වැනි මුදලක් ගෙවා තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වුණා. එම ක්‍රියාව සිදු කිරීම සඳහා ඔහුට බෝම්බ සැපයූ හා බෝම්බ තැබූ පුද්ගලයින් දෙදෙනා තවමත් අත්අඩංගුවේ ඉන්නවා. ඔවුන්ද මෙම සිද්ධිය සනාථ කරමින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් පුද්ගලයින්ට අවශ්‍ය වෙලා තිබෙනවා මේ විමර්ෂණය සැකකාර වෛද්‍යවරයා ගෙන් අවසන් කරගන්න. එහෙත් මෙම වෛද්‍යවරයා පිටුපස මෙම සිද්ධියට සම්බන්ධ කුමන්ත්‍රණකාරී සංවිධානාත්මක පිරිසක් සිටිනවා. ඔවුන් අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන පැවැත්වෙනවා. මේ වන විට සැකකාර වෛද්‍යවරයා "පිස්සු" චරිතයකට පණ පොවමින් සිටින්නේ" යනුවෙන් ප්‍රකාශය කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම සැකකාර වෛද්‍යවරයාට එරෙහිව සාධාරණ සැකයකින් ඔබ්බට සාක්ෂි අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති හෙයින් විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.

    මෙම අවස්ථාවේදී විත්තිකූඩුවේ සිටි සැකකාර වෛද්‍ය ෂර්ලි හේරත් මහතා මහේස්ත්‍රාත් වරියගෙන් ගෙන් ලබා ගත් අවසරයක් මත අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකළා.

    "ස්වාමීනි.. මම සී. සී.ඩී එකේ සිටියදී නෙවිල් සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් භාරය තමයි හිටියෙ. එහිදී මට කිසිම කරදරයක් සිදු වුණේ නැහැ. නිදාගන්න මට කොට්ටයක් දුන්නා. කොන්දෙ අමාරුව තියෙනවා කිව්වම මට මෙට්ටයකුත් ලබාදුන්නා. අවශ්‍ය සියලුම දේවල් ලබා දුන්නා. කිසිම බලපෑමක් එල්ල උනේ නැහැ. මේවා ගැන මගේ පුතා දන්නෙ නෑ. සමාවෙන්න." යනුවෙන් සැකකාර වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

    සියලු පාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට පොලිසිය විසින් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ බව සඳහන් කළා.

    එම නිසා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා විත්තිය සඳහන් කරන ආකාරයට සාක්ෂි වල සාරාංශයක් ඉදිරිපත් කිරීම අනවශ්‍ය බව ද මහේස්ත්‍රාත්වරිය පැවසුවා.

    එමෙන්ම මෙම සිද්ධියට අදාළව සැකකරුවන් විසින් අධිකරණයට ප්‍රකාශ ලබාදී ඇති බවත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් තමන්ට ද පෞද්ගලික දැනුමක් තිබෙන බවත් මහේස්ත්‍රාත්වරිය පැවසුවා.

    ඉදිරිපත් වී ඇති කරුණු සලකා බැලීමේදී මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් සෑහීමකට පත්විය හැකි කරුණු ඉදිරිපත් වී ඇති හෙයින් එම සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

    එමෙන්ම මෙම සැකකරු නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේද? නැත්ද? යන නියෝගය ලබන 28 වනදා ප්‍රකාශයට පත් කරන බවයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

    Latest News