දේවස්ථානයක අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මැයි 23, 2022

    බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික වෛද්‍ය ෂර්ලි දයානන්ද හේරත් මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 18 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද එල් .ටී. බී .දෙහිදෙනිය, ජනක් ද සිල්වා සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී මෙම පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ ඉල්ලීමකට ද අධිකරණය අවසර ලබා දුන්නා.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව පිළියන්දල ප්‍රාදේශිය රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරි එච්. ඩී.ෂර්ලි දයානන්ද හේරත් අත්අඩංගුවට ගෙන ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ රදවා තැබූ අතර පසුව අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබුවා.

    මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අදාළ වෛද්‍යවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    Latest News