යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සමට නීතිපතිවරයාගේ දේශනය

පෙබ 22, 2022

    කෙරවලපිටිය, යුග දනවි බලාගාර සමාගමට හිමි රජයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල නීතිමය පදනමකින් තොර බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

    අදාල කොටස් පැවරීමේ ගිවිසුම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද සලකා බැලීම සඳහා යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී සිය දේශනය ඉදිරිපත් කරමින් නීතිපති සංජය රාජරත්න මහතා මෙම ඉල්ලීම සිදු කළා.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම අදත් සිදු කෙරුණා.

    එහිදී සිය දේශනය ඉදිරිපත් කළ නීතිපති රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්
    " ස්වාමීනි... මෙම ගිවිසුම හරහා දේශීය සම්පත් විදේශවලට විකුණනු ලබන බවට පෙත්සම්වලින් චෝදනා එල්ල කර තිබෙනවා. ඒක අසත්‍යයක්. මේ හරහා දේශීය සම්පත් විදේශවලට විකිණීමක් සිදු වන්නේ නැහැ. මේක වාණිජ ගනුදෙනුවක්. මහා භාණ්ඩාගාරය සතු අදාළ බලාගාර සමාගමේ කොටස් වලින් සියයට 40 ක් පමණක් පැවරීම සිදු වී තිබෙනවා. එම පැවරීම සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ඒ වගේම නියමිත පටිපාටිය අනුගමනය කර තිබෙනවා." යනුවෙන් සඳහන් කළ නීතිපතිවරයා එබැවින් මෙම පෙත්සම් පදනම් විරහිත බවත් සඳහන් කළා.

    වැඩි දුරටත් කරුණු දැක්වූ නීතිපතිවරයා මෙහි පෙත්සම් 04 ක් ගොනු කර තිබෙන්නේ ගිවිසුම අත්සන් කල දින සිට මාසයක් කාලයක් ගතවීමෙන් පසුව යැයි පෙන්වා දුන් නීතිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන වගන්තිය ප්‍රකාරව එම පෙත්සම් සලකා බැලීමට අධිකරණයට බලයක් නොමැති බවත් සදහන් කළා.

    "මෙම මූලික විරෝධතාව මා ආරම්භයේදීම මතුකළා. එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය ඊට නිසි පිළිතුරක් ලබා දුන්නේ නැහැ. මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා වෙත විදේශ විනිමය ගලා ඒමක් සිදු වෙනවා. ඒ වගේම අනාගතයේ දී විදූලිය කප්පාදු කිරීම වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය උපකාරී වෙනවා. ජාතික බලශක්ති ප්‍රතිපත්තියට අනුව මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමට අවශ්‍ය වන්නේත් නැහැ" යනුවෙන් නීතිපතිවරයා කියා සිටියා.

    වැඩි දුරටත් කරුණු දැක්වූ නීතිපතිවරයා මෙම පෙත්සම් තුලින් කරුණු වැරදි ලෙස විදහා පෑම සහ නොමග යැවීම් සිදු කර ඇතැයි චෝදනා කළා.

    " මෙම නඩුවේ ලේඛනයක් වශයෙන් "ජාතික බලශක්ති ප්‍රතිපත්තිය" ඉදිරිපත් කර තිබෙනවා. එහි නිර්මාතෘ වරයා වන්නේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතායි. එසේ තිබියදී ඔහු වෙනත් ස්ථාවරයක් ගනිමින් නීතිපතිවරයා මගහැර පුද්ගලික නීතිඥ වරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටිනවා. ඔහු අධිකරණය හමුවට පැමිණ සිටින්නේ පිරිසිදු දෑත් වලින් නොවෙයි" යනුවෙන් නීතිපතිවරයා චෝදනා කර සිටියා.

    වැඩි දුරටත් කරුණු දැක්වූ නීතිපතිවරයා" 2015 වසරේ සිට 2019 වසරේ දක්වා කාල සීමාව තුළ ස්වභාවිකව ද්‍රව වායු ව්‍යපෘතිය කටාර්, දකුණු කොරියාව, ජපානය, ඉන්දියාව වැනි රටවල් සමඟ සම්බන්ධ වී ක්‍රියාත්මක කිරීමට එවක අමාත්‍ය මණ්ඩලයට යෝජනා ඉදිරිපත් වුණා. එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මෙහි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කටයුතු කළා. එම අවස්ථාවේදී ඔහු එම ව්‍යාපෘතියට විරුද්ධ වුණේ නැහැ. එහෙත් ඔහු අද අදාළ ව්‍යපෘතියට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එදා හොඳ වුනු එම ව්‍යාපෘතියට ඔහු අද විරුද්ධ වන්නේ ඇයි ද යන්න ගැටලූවක්" යනුවෙන් නීතිපතිවරයා පැවසුවා.

    වැඩි දුරටත් කරුණු දැක්වූ නීතිපති සංජය රාජරත්න මහතා අමාත්‍ය මණ්ඩලයේ සිටින සෑම අමාත්‍යවරයෙකුම එහි සාමුහිකත්වය ආරක්ෂා කිරීමටත් පාර්ලිමේන්තුවට වගකීමටත් බැඳී සිටින බව පෙන්වා දුන්නා.

    එහෙත් මෙම නඩුකරයේ දී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට එරෙහිව අධිකරණය හමුවට පැමිණීම තුළින් උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු අමාත්‍ය මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ හෙලා ඇතැයිද ඔහු සඳහන් කර සිටියා.

    මෙම පෙත්සම් වලින් අභියෝගයට ලක් කර ඇති කරුණු නීතිය ඉදිරියේ පදනමක් නොමැති කරුණු යැයි පෙන්වා දුන් නීතිපති සංජය රාජරත්නම් මහතා එබැවින් මෙම පෙත්සම් සියල්ල විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    මෙහිදී පෙත්සම්කාර සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිමති විජේගුණවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා සම්බන්ධයෙන් නීතිපතිවරයා එල්ල කල චෝදනා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා.

    අනතුරුව මෙම පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණා.

    පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමෙරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40 ක් වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි.

    මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් චෝදනා කළා.

    එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවද සඳහන් කළා

    මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදෘශ්‍ය භාවය පිළිබඳව බරපතළ ගැටලු මතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

    එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ලැබූ තීරණය බලරහිත කිරිමේ ආඥාවක් නිකුත් කරන ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටි.

    Latest News