යුගදනවි බලාගාරය නඩුව හතරවන දිනටත්

ජන 19, 2022

    කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම අද යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු කෙරුණා.

    මෙම පෙත්සම් අද පෙරවරුවේ හතරවන දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යුග දනවි බලාගාරයේ කොටස් පැවරීමට අදාල ගිවිසුම අමාත්‍ය මණ්ඩලය විසින් විධිමත්ව අනුමත කර තිබෙන බව සඳහන් කළා.

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුවක් මගින් මෙම ගිවිසුමට අදාළ කටයුතු ඉටුකළ බව කී ජනාධිපති නීතිඥවරයා එම කමිටුව විසින් යුග දනවි බලාගාරයේ කොටස් වලින් සියයට 40 ක් පැවරීමට අදාළ ගිවිසුමට එළඹීමේ බලය මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත පවරා තිබූ බවත් සඳහන් කළා.

    එබැවින් මෙම ගිවිසුම අනීතික හෝ අත්තනෝමතික බවට අධිකරණය විසින් තීරණයක් ලබා දෙන්නේ කෙසේ දැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා.

    මෙම පෙත්සම් වලට පක්ෂව දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කල අමාත්‍ය වරු පවා මෙම ගිවිසුමට අදාළව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු බව පිළිගෙන ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.

    එම අමාත්‍යවරු විසින් ඉදිරිපත් කරන ඇතැම් කරුණු අසත්‍ය හා පදනම් විරහිත බවත් ඔහු සඳහන් කළා.

    මෙම ගිවිසුමට අදාළ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොවු බව විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු සිය දිවුරුම් පෙත්සම් වල ප්‍රකාශ කර තිබුණද උදය ගම්මන්පිල ඇමතිවරයා සිය දිවුරුම් පෙත්සම මගින් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ අවසන් මොහොතේ මෙම පත්‍රිකාව ඉදිරිපත් කෙරුණු බව සඳහන් කර ඇතැයි කී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙය පරස්පර තත්ත්වයක් බවත් පෙන්වා දුන්නා.

    වැඩිදුර විමසීම හෙට දින තෙක් කල් තැබුණා.

    පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් සියයට 40 ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි.

    මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් චෝදනා කළා.

    එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවද සඳහන් කළා.

    මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදෘශ්‍ය භාවය පිළිබඳව බරපතළ ගැටලු මතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

    එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ලැබූ තීරණය බලරහිත කිරිමේ ආඥාවක් නිකුත් කරන ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටි.

    Latest News