රු.මිලියන 3,300ක හොරොයින් ජාවාරමේ ප්‍රධාන සැකකරු ඩුබායි රාජ්‍යයේ

ජන 25, 2022

    ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් රුපියල් මිලියන 3,300කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මත්ද්‍රව්‍ය තොගය රැගත් දේශීය බහුදින යාත්‍රාව, එම ජාවාරමට සම්බන්ධ තවත් දේශීය යාත්‍රාවක් සමඟ දේශීය සැකකරුවන් 11 දෙනෙකු ද අත්අඩංගුවට පත්විය.

    වැටලීම සිදුකළේ,ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්වයි.

    නාවික නෞකා සමුදුර ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති 02ක පමණ කාලයක් ආවේක්‍ෂණය කරමින් සිදු කරමින් මෙම විශේෂ මෙහෙයුම සිදුකර තිබේ.

    එහිදී දෙවුන්දර සිට කිලෝ මීටර් 1,364ක් පමණ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර තිබේ. එම බහුදින යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා උර 13ක් තුළ පැකට් 309ක් ලෙස අසුරන ලද මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

    ඒ අනූව එම බහුදින ධීවර යාත්‍රාව සමඟ දේශීය සැකකරුවන් 06 දෙනෙකු ජනවාරි මස 17 වැනිදා අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

    අනතුරුව මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරු කර ගොඩබිමට රැගෙන යාමට පැමිණි තවත් දේශිය බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු ජනවාරි මස 22 වැනිදා අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

    එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොඩබිම් ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් 05 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙහෙයුම් සිදු කරයි.

    5

    7

    6

    3

     

    Last modified on අඟහරුවාදා, 25 ජනවාරි 2022 11:24

    Latest News