කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා වෙනත් අයෙකු පත් කිරීම වළක්වමින් නියෝගයක්

ජන 13, 2022

    කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා.

    එම ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

    ඒ අනුව අදාළ නියෝගය ලබන 27 වන දා දක්වා බලපැවැත්වෙන බවත් එදින තෙක් පවත්නා තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට නියම කළා.

    පෙත්සම්කාර කටාන ප්‍රාදේශීය සභා සභාපතිවරයා පවසන්නේ තම ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කරනු අයවැය යෝජනා මුල්වර පරාජයට පත්වූ බවයි.

    ඉන් පසුව දෙවන වතාවට ඉදිරිපත් කළ අයවැයේදී ප්‍රාදේශීය සභාවේ සභිකයින් විසින් ඉදිරිපත් කළ යෝජනා සියල්ල තමා විසින් පිළිගත් බවත් ඒ අනුව අදාල අයවැය සම්මත වූ සේ සැලකෙන බව පෙත්සම්කරු පවසනවා.

    එසේ තිබියදී අදාළ අයවැය යෝජනාව පරාජයට පත්වූ බව සඳහන් කරමින් තම තනතුරට වෙනත් අයෙකු පත් කිරීම පළාත් පාලන නීතියට පටහැනි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ඒ අනුව සිය සභාපති ධුරය අහිමි වී නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් , එම තනතුර සඳහා වෙනත් අයෙකු පත් කිරීම වලක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා, බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් වරයා, එහි ප්‍රධාන ලේකම්වරයා සහ එම ප්‍රදේශීය සභාවේ සියලු සභිකයින් නම් කර තිබෙනවා.

    Latest News