පාස්කු නඩුව මාර්තු 3 වනදා ට කල්යයි

ජන 12, 2022

    පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව මාර්තු මස 03 වන දා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

    මෙම නඩුව අද දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් නව දෙනකු වෙනුවෙන් මීට පෙර නීතිඥවරු පෙනී සිටියේ නැහැ.

    තමන් වෙනුවෙන් රජයේ වියදමින් දෙමළ භාෂාව කතාකරන නීතිඥවරු පත් කරන ලෙස එම විත්තිකරුවන් විසින් ඉකුත් නඩු දිනයේ දී අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණා.

    ඒ අනුව මෙම විත්තිකරුවන් නවදෙනා සඳහා අද දින නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ වියදමින් දෙමළ භාෂාව කතා කරන නීතිඥවරු නම් කරනු ලැබුවා.

    මෙම නඩුවට අදාළ අධිචෝදනා පත්‍රයේ දෙමළ භාෂා පරිවර්තනයක් තමන්ට ලබාදෙන ලෙසද මෙම නඩුවේ විත්තිකරුවන් වීමට පෙර අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණා.

    එම දෙමළ භාෂා පරිවර්තන මේ වන විට සකස් කරමින් පවතින බවත් ඒවා මීළඟ නඩු දිනයට පෙර ලබාදීමට කටයුතු කරන බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දන්වා සිටියා.

    මෙම නඩුවේ විත්තිකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරනය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයන්ට ශුද්ධවූ කුරානයේ පිටපතක් ළඟ තබා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් බාධා පමුණුවන බවත් ඒ සඳහා අවශ්‍ය නියෝගයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

    එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල බන්ධනාගාර බලධාරීන්ට නියම කළේ බන්ධනාගාර පනතේ ප්‍රතිපාදන තිබේ නම් ඊට අවශ්‍ය පහසුකම් සලසා දීමට පියවර ගන්නා ලෙසයි.

    අනතුරුව නඩුව මාර්තු මස 3 වනදා කැඳවීමට ද නියම කෙරුණා.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මව්ලවි ,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන්,හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනා වෙත එල්ල කර ඇත.

    Latest News