හිටපු ඇමැති පාඨලීගේ සෞඛ්‍ය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග

ජන 11, 2022

    කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව කියන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රෝගී තත්වය පිළිබඳව පරීක්ෂා කර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළා.

    2016 වසරේ පෙබරවාරි මස රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම හා සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නියෝගය කළා.

    මෙම නඩුවේ සාක්ෂිකරුවන්ගේ හරස් ප්‍රශ්න විමසීම අද දින ආරම්භ වීමට නියමිතව තිබුණ ද විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

    ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයා අසනීපව කොළඹ ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

    "ස්වාමීනි... මෙම නඩුවේ විත්තිකරු අසනීපව ඊයේ රාත්‍රී රෝහල් ගත කර තිබෙනවා. වකුගඩු අමාරුව සමග හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ වේදනාව නිසා ඔහු රෝහල්ගත කෙරුණු බවයි උපදෙස් ලැබී තිබෙන්නේ. ඒ බව තහවුරු කෙරෙන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා විසින් නිකුත් කර තිබෙන වෛද්‍ය වාර්තාවක් ද මා අධිකරණයට ඉදිරිපත් කරනවා." යනුවෙන් විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

    මෙම ක්‍රියාව අනුමත කළ නොහැකි බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා චෝදනා කලේ.

    "ස්වාමීනි... මෙම නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා විත්තිකාර පාඨලී චම්පික රණවක විසින් ඊයේ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී ඊයේ දහවල් 1.30 ට පමණ මෙම විත්තිකරු උපරිමාධිකරණ සංකීර්ණය අසල ගැවසී තිබුණා. එම පෙත්සමේ නියෝගය ලබන 24 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. එසේ තිබිය දී මෙම නඩු විභාගය කල් දමා ගැනීමේ අරමුණින් තමයි විත්තිකරු අද මෙම ක්‍රියාව සිදුකර තිබෙන්නේ. සාක්ෂිකරුවන්ට සාක්ෂි අමතක වන තුරු නඩු විභාගය කල් දමා ගැනීම තමයි ඔහුගේ අරමුණ වී තිබෙන්නේ. මේක බරපතළ තත්වයක්. මෙම සිද්ධියෙන් අගතියට පත් තරුණයා රෝද පුටුවකින් අද අධිකරණය හමුවට පැමිණ තිබෙනවා. ඔහුට යුක්තියක් ඉටු කිරීමට අවශ්‍ය නැද්ද? මෙවැනි ක්‍රියාවලට ඉඩ දුනහොත් යුක්තිය අපගමනය වීමක් සිදුවෙනවා. ඒ නිසා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා "යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළා.

    වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා "ලංකා රෝහල මීට පෙරත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වී තිබෙනවා. රාජිත සේනාරත්න මහතා අත්අඩංගුට ගැනීමට නියම වූ අවස්ථාවේදීත් ඔහු එම රෝහලේ රෝහල්ගතවී වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළා. එම වෛද්‍ය වාර්තා ලබාගන්නවා ආකාර ගැන අපි හොඳට දන්නවා"

    එම අවස්ථාවේදී අදාළ වෛද්‍ය වාර්තාව පරීක්ෂාවට ලක්කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම වෛද්‍ය වාර්තාව අතින් ලියා තිබෙන බවත් එහි තිබෙන රෝගී තත්වයන් සහ එහි බලපෑම පිළිබඳව පැහැදිලිව වටහාගත ගැනීම අපහසු බව සඳහන් කළා.

    ඒ අනුව රෝහල්ගතව සිටින බව කියන විත්තිකාර පාඨලී චම්පික රණවක මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳව පරීක්ෂාකර බලා සවිස්තර වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එමෙන්ම අදාළ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළ විශේෂඥ වෛද්‍ය වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා විත්තිකාර චම්පික රණවක මහතා රෝහල් ගත කෙරුණේ කවදාද ? රෝහල්ගත කළ වේලාව ඇතුළු මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළා.

    එම ඉල්ලීම් පිළිගත් විනිසුරුවරයා චම්පික රණවක මහතාගේ රෝගී තත්වය පිළිබඳව පරීක්ෂාකර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළා.

    එමෙන්ම අදාළ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළ වෛද්‍යවරයා ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඒ ඔස්සේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට නියම කරනු ලැබුවා.

    මෙම නියෝග අද දිනම භාරදීමට පියවර ගන්නා ලෙසයි විනිසුරුවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරයාට වැඩි දුරටත් නියෝග කළේ.

    අනතුරුව පැමිණිල්ල නැවත ලබන 21 වනදා කැඳවීමට ද නියම වුණා..

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News