යුගදනවි බලාගාරයේ ගිවිසුමට එරෙහි පෙත්සම්වලට පක්ෂව අමාත්‍යවරු තිදෙනෙක්

දෙසැ 08, 2021

    යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කරනු ලැබුවා.

    සිය නීතිඥවරුන් මාර්ගයෙන් අදාල අමාත්‍යවරු තුන්දෙනා මෙම විරෝධතා ඉදිරිපත් කර තිබෙනවා.

    අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණා.

    එම පෙත්සම්වලින් සඳහන් කර තිබුණේ අදාළ ගිවිසුම හේතුවෙන් ගෑස් බෙදාහැරීමේ ඒකාධිකාරය ඇමරිකානු සමාගම සතු වන අතර ඒ තුළින් ජාතික ආරක්ෂාවට ද තර්ජන වන බවයි.

    මෙම පෙත්සම් ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් තමන් පෙනී සිටින බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණා.

    එහෙත් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර තිබූ උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන අමාත්‍යවරු අධිකරණයට දන්වා සිටියේ තමන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවත් එම අමාත්‍යවරුන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ සඳහන් කළා.

    පසුගිය 06 වැනි දින මේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් කිසිදු ආකාරයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් , අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළ අතර එම කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමක් සිදු නොවු බව විමල්, වාසු හා ගම්මන්පිල යන අමාත්‍යවරු විසින් ගොනු කළ විරෝධතාවල සඳහන් කර ඇත.

    මෙම ව්‍යාපෘතිය පිළිබදව ප්‍රසිද්ධ ටෙන්ඩර් කැදවීමක් සිදු කර තිබියදී , ටෙන්ඩර් ලංසුව ඉදිරිපත් නොකළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දීම නීතියට පටහැනි බවද ඔවුන් පෙන්වා දෙනවා.

    මෙම ටෙන්ඩරය ලබා දුන් සමාගම 2018 වසරේ ආරම්භ කළ සමාගමක් වන අතර අදාල සමාගමට ගෑස් කළමනාකරණය පිළිබද කිසිදු ඉතිහාසයක් නොමැති බව පෙන්වා දෙන එම අමාත්‍යවරුන් මෙම සමාගමට රටේ ගෑස් කළමනාකරණය බාර දීමේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි ද පෙන්වා දී තිබෙනවා.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන්, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්. ටී.බී.දෙහිදෙනිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් ලබන 16 සහ 17 වැනිදා සලකා බැලීමට නියමිතය.

    Latest News