උපරිමාධිකරණ ගොඩනැගිල්ල අළුත්වැඩියාවට රු. මිලියන 7680ක මූල්‍ය ප්‍රදානයක්

දෙසැ 08, 2021

    දැනට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ පිහිටා තිබෙන උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල පූර්ණ චීන රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ අලුත්වැඩියා කිරීම සඳහා 2012 වසරේදී පමණ සිට විවිධ සාකච්ඡා පැවති අතර වර්තමාන අධිකරණ අමාත්‍යවරයා අමාත්‍යාංශය භාරගැනීමෙන් පසුව චීන රජය සමඟ සිදුකරන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙම ගොඩනැගිල්ලෙහි අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදුකිරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇත.

    එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ( 07දින ) සිදුවූ අතර එහිදී අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා සහ චීන ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක LI Guangjun අතර එහි ගිවිසුම අත්සන් කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.

    එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා ද එක්විය.

    මෙම අළුත්වැඩියාව සඳහා චීන සමූහාණ්ඩුවේ ප්‍රධාන කොන්දේසියක් වූවේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම හිස්කර දියයුතු බවයි. අමාත්‍යවරයා විසින් චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිතුමා සමඟ සිදුකළ සාකච්ඡා අනුව කලාප වලට අධිකරණ සංකීර්ණය වෙන්කර කලාපයෙන් කලාපයට මෙම අළුත්වැඩියාව සිදු කිරීමට එකඟ විය. මෙම අළුත්වැඩියා සම්පූර්ණයෙන්ම ආපසු නොගෙවීමේ ආධාර මුදලක් ලෙස ලැබෙන රුපියල් මිලියන 7680 ක වියදමින් සිදු කරීමට නියමිත අතර දැනට අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල අභියාචනාධීකරණයට ලබාදීමට කටයුතු සැලසුම් කර ඇත.

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ පටන් දිගු කාලයක් තිස්සේ දෙරට අතර පවතින මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කරගතයුතු බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙරටෙහි ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් චීන රජය ඉතා සංවේදීව කටයුතු කර ඇති අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එල්ල වූ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා වලදී අපහට ශක්තියක් වීමට චීන රජය අමතක නොකළ බවයි.

    එමෙන්ම මෙරටෙහි ප්‍රධාන භෝගයන් අපනයනය කිරීමේ කටයුතු වලදීද අප හට ලබාදෙන සහයෝගය පිළිබඳව ස්තුතිය පල කරන ලදී. එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයෙහි මෙතෙක් සිදු නොවී තිබූ වෙනස්කම් හා මෑතකදී කරන ලද සංශෝධනයන් හා යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සඳහන් කල අමාත්‍යතුමා කුමන අභියෝග හමුවේ වුවද ඉදිරියටත් චීන රාජ්‍ය හා පවතින සම්බන්ධතාවය ඒ අයුරින්ම පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් ද සඳහන් කළ අතර ආර්ථික සංවර්ධනය, අධිකරණ පද්ධතියේ සංවර්ධනය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල ප්‍රගමනය සදහා ලබා දෙන සහයෝගය අගය කරන බවත් එම තත්වය ඉදිරියටත් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

    මෙහිදී අදහස් දක්වමින් චීන තානාපති Qi Zhenhong මහතා සඳහන් කළේ, දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සමඟ පවතින සම්බන්ධතාවය සම්බන්ධයෙන් අතිශයින් සතුටට පත්වන බවත් කොවිඩ් වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාව පත්ව ඇති අවධානම් තත්වය සලකා බලා එන්නත් කරන කටයුතු කඩිනමින් සිදු කිරීමට චීන රජය සහයෝගය ලබාදුන් ආකාරය පිළිබඳව ද සිහිපත් කළ අතර උපරිමාධීකණ සංකීර්ණ මණ්ඩල ගොඩනැගිල්ල පමණක් නොව බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව සහ නෙළුම් පොකුණ ගොඩනැගිල්ල ඉදිකිරීමට දක්වන ලද සහයෝගය සම්බන්ධයෙන් ද සිහිපත් කරන ලදී. තම රටේ දිගුකාලීන මිත්‍රයකු වන ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇතුළු සියළු ක්ෂේත්‍රයන්හි ප්‍රගමනය සඳහා තම රටේ සහය නිරන්තරයෙන් ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

    මෙම අවස්ථාවට චීන චීන තානාපති කාර්යාලයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්විය.

    Latest News