ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුතුන් දෙදෙනාගේ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර

දෙසැ 07, 2021

    තමන්ට අවමන් සහගත ලෙස සලකා පහරදී තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුතුන් දෙදෙනා වන නීති ශිෂ්‍යයෙකුව සිටි මිගාර ගුණරත්න හා නීතිඥ චරිත ගුණරත්න විසින් පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

    මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කෙරුණා.

    ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙස එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින පෑලියගොඩ විශේෂ විමර්ශනය ඒකකයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් වෙත අධිකරණය නොතීසි නිකුත් කළා.

    එමෙන්ම පෙත්සම්කරුවන්ට අදාළ වෛද්‍ය වාර්තා, ප්‍රතිකාර සටහන් හා අධිකරණ වෛද්‍ය වාර්තා, අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාගම රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරිවරයාට සහ එහි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග නිකුත් කළා.

    පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට අදාළව රාජකාරිමය කටයුත්තක් සඳහා පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට තමන් ගිය අවස්ථාවේදී එහි සිටි වගඋත්තරකරුවන් තමන්ට අමානුෂික ලෙස පහරදී තර්ජනය කර අවමන් සහගත ආකාරයෙන් සැලකූ බවයි.

    මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම්කරුවන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    පෙත්සම මූලික වශයෙන් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි බැලූ බැල්මට නඩු නිමිත්තක් ඇතැයි තීන්දු කරමින් එය විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

    පෙත්සම් විභාගය මැයි මස 23 වනදා පැවැත්වෙනවා.

    Latest News