පොඩි ලැසී ගේ රැඳවුම් නියෝගය ගැන අධිකරණය දැනුවත් කරන ලෙසට නියෝග

දෙසැ 07, 2021

    දැනට රැඳවුම් භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන පොඩි ලැසී නමැත්තාගේ රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියා මාර්ගය පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසා ලබන 13 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළා.

    තම ජීවිත ආරක්ෂාව සහතික කිරීමේ නියෝගයක් පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පොඩි ලැසී විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රැදවුම් භාරයේ සිටින සැකකරුවන් අවිආයුධ පෙන්වීම සඳහා පිටතට රැගෙන යාමට සිදු වන බවත් එසේ රැගෙන යන අවස්ථාවලදී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අනුව විවිධ අනතුරු සිදුවීමට ඉඩකඩ පවතින බවත් මහජන සාමය පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුව දී ප්‍රකාශයක් සිදු කළ බව සඳහන් කළා.

    මෙම ප්‍රකාශය හේතුවෙන් තම සේවාදායකයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ.

    තම සේවාදායකයාගේ රැඳවුම් නියෝගය ළඟදීම අවසන් වීමට නියමිතව තිබෙන බවත් ඉන්පසුව ඔහු පෑලියගොඩ විශේෂ විමර්ශනයකට මාරු කිරීමේ සූදානමක් පවතින බවද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තම සේවාදායකයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීම අවශ්‍ය බවත් සඳහන් කළා.

    එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන බවට නීතිපතිවරයා විසින් ඉකුත් මැයි මස 21 වන දා අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී ඇති බවත් එම ප්‍රතිඥාව මේ දක්වා උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් සඳහන් කලා.

    මෙහිදී සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට නියම කළේ මෙම සැකකරුගේ රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියා මාර්ගයන් පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසා ලබන 13 වනදා අධිකරණය දැනුවත් කරන ලෙසයි.

    Latest News