පොඩි ලැසී ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ඔක් 23, 2020

    රඳවාගෙන සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායකයකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී විසින් සිය නීතිඥවරිය මාර්ගයෙන් ගොනු කළ පෙත්සමක් විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කළා.

    ඒ අනුව පෙත්සම නැවත නොවැම්බර් මස 10 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළා.

    පොඩි ලැසී තම නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබෙන්නේ අපරාධ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තමන්ව මේ වනවිට බූස්ස බන්ධනාගාරය රඳවා තිබෙන බවයි.

    බන්ධනාගාරය තුළදී තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල ව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීමට බන්ධනාගාර බලධාරීන් බැඳී සිටින බව ද කියා සිටිනවා.

    ඒ අනුව බන්ධනාගාරගතව සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් කරන ලෙසයි ඔහු මෙම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News