වෛද්‍ය පාදෙනිය ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ නියෝගයක් මේ මස 23

නොවැ 08, 2021

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලට අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    2017 වසරේ අප්‍රේල් මස 7 වන දා වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් කොළඹ කොටුව දුම්රියපොළ අසළදී පැවැති ජන හමුවකදී සිදුකරනු ලැබූ කතාවක් අඩංගු සංයුක්ත තැටියක් පැමිණිල්ල විසින් සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

    අදාල සංයුක්ත තැටිය නීතියානුකූල ආකාරයට ඉදිරිපත් කර නොමැති හෙයින් එය ප්‍රතික්ෂේප කරන ලෙසට වගඋත්තරකාර වෛද්‍ය පාදෙනිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කරනු ලැබුවා.

    එම මූලික විරෝධතාව පිළිබඳ නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

    මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

    එම පැමිණිල්ල මගින් සඳහන් කර තිබුණේ 2017 වසරේ අප්‍රේල් මස 7 වනදා කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැති ජන හමුවකදී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය මගින් ප්‍රකාශ කළ නඩු තීන්දුවක් විවේචනයට ලක් කරමින් කරුණු දැක්වූ බවයි.

    මේ තුළින් වෛද්‍ය පාදෙනිය අධිකරණයට අපහාස කර ඇති බවත් ඔහුට සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

    Latest News