සයිටම් විවේචනය කළ දොස්තර පාදෙනියගේ නඩුව විභාගයට දිනයක්

ජූනි 21, 2019

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල සැප්තැම්බර් මස 4 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී අදාළ පැමිණිල්ලේ සැප්තැම්බර මස 4 වැනිදා ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට නියම කෙරිණ.

    පුරවැසි බලය සංවිධානය කැදවුම්කරුවන් වන මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත්කර තිබිණ.

    පැමිණිලිකරුවන් කියා සිටින්නේ 2017 වසරේ අප්‍රේල් මස කොළඹ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය මගින් ප්‍රකාශයට පත්කරන ලද නඩු තීන්දුවක් දැඩි ලෙස විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.

    ඒ තුළින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

    Last modified on සිකුරාදා, 21 ජූනි 2019 11:20

    Latest News