සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නැහැ - CID

නොවැ 08, 2021

    මෙම අවස්ථාවේ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

    තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    විජිත් මළල්ගොඩ, එල්.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සළකා බැලුණා.

    මෙහිදී අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කළේ මෙම අවස්ථාවේදී සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවයි.

    විමර්ශන කටයුතු නිමා වීමෙන් පසුව නීතිපති උපදෙස් මත මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ.

    මෙහිදී සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දන්වා සිටි දැනුම් දෙන සුදුසු වෙලාවක විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශක් ලබාදීමට තම සේවාදායකයා සූදානම් බවයි.

    මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ ප්‍රමාණවත් කාලයක් ලබා දී පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගන්නා ලෙසයි.

    අනතුරුව පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අප්‍රේල් මස 4 වනදා කැඳවීමට ද නියම වුණා.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනයක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න, පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සාලේ, කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇතැයි පෙත්සම්කාර පියතුමා කියා සිටියා.

    ඉකුත් 25 වනදා පාස්කු ඉරුදින එල්ල කෙරුනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් "සූම්" තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකදී තමන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදවල් සිදුකර ඇති බවට චෝදනා කරමින් විමර්ශන සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පෙත්සමින් සඳහන් වෙනවා.

    එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි සිරිල් ගාමිණි පියතුමා කියා සිටින්නේ.

    අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව තමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්ව සිටින බව පෙන්වා දෙන සිරිල් ගාමිණී පියතුමා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවයි කියා සිටින්නේ.

    ඒ අනුව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින සිරිල් ගාමිණී පියතුමා වගෙඋතෙකරුවන් ගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News