සිරිල් ගාමිණී පියතුමන් CID යෙන් සතියක කාලයක් ඉල්ලයි

ඔක් 28, 2021

    රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලට අදාළව සිරිල් ගාමිණී පියතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අද(28) දැනුම්දී තිබුණි.

    එහෙත් සිරිල් ගාමිණී පියතුමා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේ නැත.

    සිරිල් ගාමිණී පියතුමා සහ රොහාන් සිල්වා පියතුමා ඇතුළු කතෝලික පූජක තුමන්ලා ඇතුළු පිරිසක් පසුගිය 23 වනදා සූම් තාක්ෂණය ඔස්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනක් පවත්වමින් තමන් පිළිබඳ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ බවට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ්‍යවරයා පැමිණිලි කර තිබුණි.

    මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබුණේ මෙමගින් තමන්ගේ සහ තම පවුලේ සාමාජිකයින්ගේ ජීවිතවලට හානිදායක ලෙස ක්‍රියා කිරීම පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙසයි. ඒ අනුව සිරිල් ගාමිණී පියතුමාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

    කෙසේ වෙතත් සිය පාර්ශ්වයෙන් තුන් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එවමින් සිරිල් ගාමිණී පියතුමා සඳහන් කර තිබුණේ අදාළ ප්‍රකාශය ලබාදීමට තමන්ට තවත් සතියක කාලයක් ලබාදෙන ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබාදී ඇත.

    Latest News