රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා සිදුකළ පැමිණිල්ලකට අදාළව පරීක්ෂණය ඇරඹෙයි

ඔක් 27, 2021

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉකුත් දා දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා අන්තර්ජාතික යුක්ති සංසදය විසින් පැවැත් වූ කරුණු පැහැදිලි කිරීමක දී ඉදිරිපත්වූ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

    මෙම සිද්ධියට අදාළව රහසිගත වාර්තාවක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා වෙත මෙම දැනුම් දීම සිදු කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ අන්තර්ජාතික යුක්ති සංසදය නැමැති සංවිධානය විසින් ඉකුත් 23 වනදා දේශීය සහ අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවයි.

    එහිදී ඉදිරිපත්වූ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් පැමිණිල්ලක් සිදු කර ඇති බව ද ඔවුන් දන්වා සිටියා.

    එම පැමිණිල්ලට අදාළව සියලු පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඉදිරි විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

    එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ලට අදාළව විමර්ශන සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    Latest News