පාඨලීගේ නඩුව විභාගයට දිනයක්

නොවැ 02, 2021

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසිය හිටපු ස්ථානාධිපති හා වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 30 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැදවනු ලැබීය.

    එහිදී නඩු විභාගය නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂි දීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටින අනතුරට පත් සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා ඇතුළු සාක්ෂිකරුවන් හය දෙනකු වෙත සිතාසි ද නිකුත් කළේය.

    එමෙන්ම මෙම රිය අනතුර සිදුවූ අවස්ථාවේ දී අමාත්‍ය චම්පික රණවක මහතා විසින් පැදවූ බව කියන ඩබ්ලිව්.පී.කේ.පී.75 45 දරණ ජිප් රථය මේ මස 22 වැනිදාට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා විසින් කලුතර දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කළේය.

    මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.

    එම මූලික විරෝධතාව නඩු විභාගය ආරම්භයේ දී ඉදිරිපත් කරන ලෙසයි එහිදී විනිසුරුවරයා විත්තියේ නීතිඥවරයාට දැනුම් දුන්නේ.

    2016 වසරේ පෙබරවාරි මස 28වැනිදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

    ඒ අනූව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිවයි, නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ.

    Last modified on අඟහරුවාදා, 02 නොවැම්බර් 2021 11:47

    Latest News