ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම;සැකකරු රිමාන්ඩ්

සැප් 29, 2021

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.

    ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මෙම අපරාධය සිදු කර ඇති ආකාරයෙහි පවතින සූක්ෂම භාවය සහ විමර්ශනවල සංකීර්ණ භාවය සලකා බැලීමේදී වැඩිදුර විමර්ශනය කිරිම සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය බව හැඟී යන බවයි.

    ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

    සැකකරු සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර ලෙසයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණේ. 

    එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහු ඇප මත මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.

    Last modified on බදාදා, 29 සැප්තැම්බර් 2021 16:31

    Latest News