අද-හෙට 100mm ක තද වැසි-අකුණු

පෙබ 16, 2019

    අද(16) සහ හෙට(17) දිනයන්හි දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම නිවේදනයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු පළාත්වල හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට 100mm පමණ තද වැසි ඇති විය හැකි අතර නැගෙනහිර පළාතේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීද වැසි ඇති විය හැක.

    බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප්‍රභල අකුණු තත්වයක්ද ඇතිවිය හැකි අතර ඉහත ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70-80ත් අතර ක්ෂණිකව තද සුලං ඇති විය හැක.

    ඒ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ක්‍රීඩා භූමි, කුඹුරු වැනි විවෘත ස්ථානවල සහ එවැනි ස්ථානවල ඇති ගස් යට රැඳී නොසිටින ලෙසයි. නිවෙස්වල ගෘහස්ථ පරිපථ විසන්ධි කරන ලෙස සහ වෙනත් අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටියි.

    තවද මෙම කාලගුණ තත්වය නිසා කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කෙරේ. නායයෑම් ලක්ෂණ වන ගස් ඇලවීම්, පොළව ඉරි තැලීම්, නිවෙස්වල පහල සිට ඉහළට ඇතිවන්නා වූ පැලුම් හා ආගන්තුක ලෙස මඩවතුර සහිත දිය උල්පත් මතුවීම පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත්වන ලෙසද දැනුම් දී තිබේ.

    ආපදාවන් පිළිබඳව දැනුම් දීමට 117 දුරකතන අංකය පැය 24 පුරාම විවෘතව පවතින බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

    Last modified on සෙනසුරාදා, 16 පෙබරවාරි 2019 20:09

    Latest News