කියවීමේ මාසය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්, සහන මිලට පොත්

සැප් 17, 2021

    සැප්තැම්බර් කියවීමේ මාසය වෙනුවෙන් අපේ රටේ පාඨකයින් සඳහා විශේෂ වට්ටම් සහිතව සහන මිලට පොත් අලෙවි කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාවට නංවා ඇත.

    මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ ඓතිහාසික, පුරාවිද්‍යත්මක, වාස්තුවිද්‍යත්මක සහ කලාත්මක ඉතාම වටිනා ග්‍රන්ථ රාශියක් සහන මිලකට ලබා දීමට කටයුතු යොදා ඇත. විශේෂ පර්යේෂණ කෘති, ළමා සාහිත්‍ය කෘති, පරිවර්තන කෘති, මාර්ගෝපදේශක කෘති, ඓතිහාසික විස්තර ඇතුලත් සිතියම්, පින්තූර, තැපැල්පත්, පෝස්ටර් සහ ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳව ලියැවුණු සිංහල ඉංග්‍රීසි ග්‍රන්ථ රාශියක් මේ අතර වේ.

    ඒ සමගම බටලීය ජාතික අනුරූ පාසල නිර්මාණය කළ විශිෂ්ඨ වර්ගයේ අනුරූ (replica) සහ විවිධ කලා නිර්මාණද (online) ක්‍රමවේද මගින් මිලදී ගත හැක.

    එම ප්‍රකාශන සහ අනුරූ අලෙවිය ආරම්භ කරමින් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහත්වරුන් වෙත මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ලලිත් උදේෂ මධුභාණු සහ සහකාර අධ්‍යක්ෂ චිත්‍රා දඹදෙණියආරච්චි විසින් ග්‍රන්ථයක් සහ අනුරුවක් ඊයේ (16) දින සංකේතාත්මක ලෙස අලෙවි කළේය.

    Latest News