අධ්‍යයන කටයුතු මගහැරුණු නැගෙනහිර පෙරපාසල් දරුවන්ට විශේෂ වැඩපොතක්

සැප් 17, 2021

    කොරෝනා වසංගතය හේතුවෙන් සිය අධ්‍යයන කටයුතු සිදු කර ගැනීමට නොහැකිව නිවෙස්වල සිටින නැගෙනහිර පළාතේ පෙරපාසල් දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ විශේෂ අවධානය යොමු වූවාය.

    ඒ අනුව, පළාත් ප්‍රතිපාදන හරහා විශේෂ ක්‍රියාකාරකම් සහිත වැඩපොතක් මුද්‍රණය කර පළාතේ සියළු පෙරපාසල් දරුවන්ට බෙදාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරිය පළාත් පෙරපාසල් කාර්යංශ සභාපතිවරයාට උපදෙස් දුන්නාය.

    නැගෙනහිර පළාතේ මේ වනවිට පෙර පාසල් වයසේ දරුවන් 47000 පමණ ක්‍රමවත් අධ්‍යාපනයකින් තොරව නිවෙස්වලට වී සිටිති. මේ නිසා 2022 වර්ෂයේ පළමු ශ්‍රේණියට ඇතුලත් වන දරුවන්ගේ පළමු වසර අධ්‍යාපනික නිපුණතාවයන්ට ද බාධාවක් වී ඇත.

    ඒ අනුව, එම කාර්යාංශයේ සභාපති ප්‍රදීප් තෙන්නකෝන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් දරුවන්ගේ අතපසු වූ ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් එම ක්‍රියාකාරකම් සහිත වැඩ පොතක් මුද්‍රණය කොට බෙදා බෙදාහැරීම ආරම්භ වූ අතර එහි මංගල කලාපය ආණ්ඩුකාරවරියට ලබාදීමද සිදු විය.

    ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක වලට අයත් පළාත් පෙරපාසල් කාර්යංශයේ ලියාපදිංචි සියළු පෙරපාසල්වල දරුවන්ට මෙම වැඩපොත නොමිලේ ලබාදීමට කටයුතු කර තිබේ.

    Latest News