කාබනික කෘෂිකර්මාන්තයක් බිහි කිරීම දේශපාලන තීන්දුවක් නොවේ - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර

ජූනි 17, 2021

    මෙරට කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම කාබනික කෘෂිකර්මාන්තය බවට පත් කිරීම රට ගැන සිතා මනුස්සකමින් ගත් තීරණයක් පමණක් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

    ඇතැමුන් සදහන් කරන පරිදි එහි කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැති බවද ඇය කියා සිටියාය. ඊයේ (16) පෙරවරුවේ කාබනික වගාව නැගෙනහිර පළාතේ සිදු කරන ආකාරය පිළිබද ඉදිරි වැඩ පිළිවෙල සාකච්ඡා කිරීම සදහා ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති විශේෂ හමුවකදී ආණ්ඩුකාරවරිය මේ බව කීවාය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.

    “නැගෙනහිර පළාතේ අපි බොහොම මුරණ්ඩු ලෙස පසුගිය කන්න වලදි කාබනික වි වගාව විශාල අභියෝග මැද්දේ සිදු කළා. වසවිස නැති දිවයිනක් බවට මේ රට පත් කරන්න අපි නැගෙනහිර පළාතෙන් ඒ ගමන ආරම්භ කළා. ජනාධිපතිතුමා මේ රසායනික පොහොර ත්‍රස්තවාදය විනාශ කරන්න ගත්ත තීන්දුව ඉතාම වටිනවා. එය අපේ ජීවිතයේ අපි ලද ජයග්‍රහණයක්.

    තිස් වසරක් පුරා පැවති යුධමය වතාවරණය අවසන් කලත් උතුරු නැගෙනහිර ජනතාවගේ හදවත් වලට යන්න අපිට බැරුව ගියා. ඒ මිනිසුන්ගේ හදවත් පහුගිය යහපාලන ආණ්ඩුවෙන් තව තවත් පළුදු කළා. දැන් අපිට ආයෙත් ඒ හදවත් වලට ළං වෙන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ පළාතේ ජනතාවගේ සිතුම් පැතුම් වලින් ඒ බව තේරෙනවා. මිනිස්සුන්ගේ හදවත් වල විතරක් ඉදලා වැඩක් නෑ. සෞභාග්‍යමත් නැගෙනහිරක් බිහි වෙන්නටම අවශයයි. ඒ තත්වය උදා කරලා තමයි මම ගෙදර යන්නේ. එහෙම නොවුනොත් මම මගේ වැඩේ හරියට කරලා නැහැ. එම නිසා නිලධාරින් හැටියට අපි සියළුදෙනා එකතු වෙලා ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ගය ශක්තිමත් කරන්න එකාවන්ව වැඩ කරමු.” යැයි ද ආණ්ඩුකාරවරිය කීවාය.

    මේ අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News