ජන වසම ඉඩම්, බදු දීම ගැන පරීක්ෂණයට කමිටුවක් පත් කරයි

සැප් 09, 2021

    ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් කොටස් 200කට අධික ප්‍රමාණයක් අයථා ලෙස බදු දීම, අනවසරයෙන් අල්ලා ගැනිම සම්බන්ධයෙන් පරීක්ෂා කොට වාර්තාවක් සකස් කිරිම සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී අනාවරණය වුයේ නීත්‍යානුකූල නොවන අකාරයෙන් මෙසේ බැහැර කළ ඇති ඉඩම් ප්‍රමාණය අක්කර ලක්ෂයකට වැඩි බවය. ඉකුත් රජය සමයේ දේශපාලන හිතවත්කම් මත ඇතැම් ඉඩම් බැහැර කළ තිබු බව ද හිටපු දේශපාලඥයින් කිහිපදෙනෙකු ද මෙලස ඉඩම් භුක්ති විදින බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. මෙසේ බැහර කළ ඇති ඇතැම් ඉඩම් කොටස් අක්කර 500ක් සහ තේ කර්මාන්ත ශාලාවක් ඇතුළු තවත් බොහෝ දේ ඇතුලත් බවත් එවැනි ඉඩම්වලට වාර්ෂිකව ලැබෙන බදු මුදල රුපියල් 40,000ට අඩු බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. මේ නිසා රජයට ලැබිය යුතු අති විශාල මුදලක් අහිමි වී ඇති බැවින් මේ පිළිබඳව පරීක්ෂා කොට මසක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පූර්ණ බලැති කමිටුවක් පත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජේ. එම්. උදිත් කේ. ජයසිංහ මහතාය අද ( 09 ) උපදෙස් දුන්නේය.

    මෙම කමිටුවේ වාර්තාව ලැබුණු පසු එම වාර්තාව සම්බන්ධ කරුණු විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමටත් එම කොමිසමේ නිර්දේශ අනුව නීත්‍යානුකූල ක්‍රියා මාර්ග ගැනීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරයි. අද පැවැති මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති බුවනක ඩී. අබේසූරිය ඇතුළු එහි ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වි සිටියහ.

    Latest News