අමාත්‍ය නලින් රුවන් ජීවට සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුව අගෝස්තු 01

ජූලි 25, 2022

    අමාත්‍ය නලින් රුවන් ජීව ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගය සඳහා අගෝස්තු මස 01 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

    ඒ, 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවක් සඳහායි.

    මෙම නඩුව අද අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස 01 වනදා කැදවන බවයි.

    එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද විනිසුරු මඩුල්ල අවවාද කළා.

    2014 වසරේ සැප්තැම්බර් මස පල වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ වත්මන් අමාත්‍ය නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

    Latest News