කාබනික පොහොර අඩංගු චීන නෞකාව ශ්‍රී ලංකාවෙන් ඉවත් වන බව දැනුම් දෙයි

දෙසැ 08, 2021

    අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බව කියන කාබනික පොහොර අඩංගු චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව එම නෞකාව විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.



    ශ්‍රී ලංකාවට කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

    මෙහිදී අදාල පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අහිතකර බැක්ටීරියා අන්තර්ගත බව කියන කාබනික පොහොර රැගත් චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත්ව යන බවට එම සමාගම විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවයි.

    කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ලබාදුන් එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් තමන් සෑහීමට පත්වන බව පෙත්සම් කාර පාර්ශවයද අධිකරණයට දන්වා සිටියා.

    ඉන් අනතුරුව මෙම පෙත්සම පිළිබඳ සලකා බැලීම මැයි මස 09 වනදා තෙක් කල් තැබුණා.

    Latest News