සමාගම් 05කට කිරි ගවයින් ආනයනයට කැබිනට් අනුමැතිය

සැප් 07, 2021

    මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා පෞද්ගලික සමාගම් 05කට කිරි ගවයින් 4,200ක් ආනයනය කිරීමටත්, ඔවුන්ට කිරිගව පට්ටි පවත්වාගෙන යෑම සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු බිම් අක්කර 2,771ක් ලබා දීමටත් ඊයේ (06) රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    මෙම ව්‍යාපෘතිය සඳහා රජයෙන් කිසිදු මුදලක් ආයෝජනය නොකරන බවද අදාළ සමාගම් 05 මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 8275ක් ආයෝජනය කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වූ අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

    “අපේ රටේ වාර්ෂික කිරි අවශ්‍යතාව ලීටර් මිලියන 722ක්. නමුත් දැනට අපේ රටේ නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය ලීටර් මිලියන 422ක්. මේ නිසා දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 01ක් බැගින් මිලියන 365ක් කිරිපිටි ආනයනය සඳහා වැය කරනවා.

    ලෝකයේ සියලු රටවල් මේ වනවිට වැඩි වශයෙන් දියර කිරි පරිභෝජනයට හුරුව සිටිනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව තුළත් දියර කිරි ජනප්‍රිය කරලා ඉල්ලුමට සැපයුම ලබා දෙන්නයි. යැපුම් ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.”

    “මේ සඳහා ආරම්භයක් විදිහට දේශීය සමාගම් හතරකට සහ විදේශීය සමාගමකට ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා පශු සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රයෝජනයක් ගෙන නැති මුඩු ඉඩම් අක්කර 2771ක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙන්නේ ගවයින්ට අවශ්‍ය තණකොළ වගා කරන්නයි. කිරි ගවයින් දසදහසකට දිනකට තණකොළ මෙට්‍රික් ටොන් 45ක් අවශ්‍ය වෙනවා.

    අපේ රටේ කිරි ගවයින්ගෙන් ලබා ගත හැකි උපරිම කිරි ප්‍රමාණය නොලැබෙන්නේ ආහාර මදි නිසයි. මෙම ව්‍යාපෘතිය මඟින් 2025 වනවිට කිරි ගවයින් 2500 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂිත” බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 07 සැප්තැම්බර් 2021 16:18

    Latest News