'ගුරු ගැටලුවට මේ මොහොතේම විසඳුම් ඉල්ලීම ප්‍රායෝගික නොවේ'...අධ්‍යාපන ඇමති

අගෝ 03, 2021

    ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම දැඩි ආර්ථික අර්බූදයක සිටින අවස්ථාවක වසර 24ක් පමණ පැවති ගුරු ගැටලුව මේ මොහොතේම විසඳන්නට ප්‍රකාශ කිරීම අසාධාරණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (03) අධ්‍යාපන අමාත්‍යංශයේ දී ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවක් අවසානයේ මාධ්‍ය අමතමිනි.

    අද පැවති වෘත්තීය සමිති සංගම් සමඟ සාකච්ඡාවේ දී රජය පාර්ශ්වයෙන් මෙම ගැටලුව පිළිබඳ ඉතිහාසය ඔවුන්ට මතුකොට පෙන්වා දෙන ලදී. අඛණ්ඩව වසර 24ක් පමණ තිස්සේ රජයෙන් රජයට මාරු වෙමින් මෙම ගැටලුව පැවතුණි. එය කිසිසේත්ම ඊයේ පෙරේදා ඇති වූවක් නොවේ. ඓතිහාසික ප්‍රශ්නයකි. එතරම් කාලයක් තිස්සේ ලියලමින් වර්ධනය වෙමින් පැවත මේ රජයට දායාද වුණු ගැටලුවක් ලෙස මෙය පෙන්වා දිය හැකි ය.

    එබැවින් පාසලට නොපැමිණීමවත් දරුවන්ට අධ්‍යාපන කටයුතු නොකිරීමවත් මෙම අවස්ථාවේ උචිත විසඳුමක් නොවේ. සමස්ත ලෝකයම දැඩි ආර්ථික අර්බූදයකට මැදි වී තිබෙන අවස්ථාවක, ඇතැම් රටවල් වැටුප් කප්පාදු පවා සිදුකරන අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ගුරුවරුන්ගේ ඇතුළු රාජ්‍ය සේවක වැටුප ගෙවීමට කටයුතු කරන ලදී.

    රජයට ප්‍රධාන ආදායම් ලැබෙන මාර්ග වන වැට් බද්ද, රේගුව, සුරාබදු, පිටරට ශ්‍රමිකයන් ආදී සියලු ආදායම් මාර්ග වලට විශාල බලපෑමක් ඇති වී තිබෙන වාතාවරණයක මෙසේ ඉල්ලීම් කිරීම ප්‍රායෝගික නොවේ. අවුරුදු 24කට පසුව මෙවැනි අවස්ථාවක එක්වරම පාසල් නොයන බව, ඉගැන්වීම් කටයුතු නොකරන බව පැවසීම සාධාරණ ද නොවේ. මෙයින් වඩාත් අසරණ වන්නේ දිළිදු පවුල්වලින් එන දරුවන්ට ය. වරප්‍රසාද ලත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදු වෙයි. එබැවින් මෙය අසාධාරණ ක්‍රියාමාර්ගයකි.

    පසුගිය දා නිකුත් කළ චක්‍රලේඛය සම්බන්ධ කරමින් අධ්‍යාපන ලේකම්වරයාට චෝදනා එල්ල කළ ද එය කිසිසේත්ම ලේකම්වරයාගේ පෞද්ගලික උවමනාවට නිකුත් කරන ලද්දක් නොවේ. අද උදෑසන වනවිට ගුරුවරුන් 24,1000 න් 85%කට පමණ එන්නත්කරණය සිදුකොට අවසන්කොට තිබේ.

    එන්නත්කරණයෙන් පසුව ක්‍රමයෙන් පාසල් ආරම්භ කිරීමට කටයුතු කළ යුතු ය. එහිදී ගුරුවරුන් පාසලට ගොස් එසේ පාසල් ආරම්භ කිරීම සඳහා වටපිටාව පාසල් තුළ නිර්මාණය කර දිය යුතු ය. කිසිසේත්ම ගුරුවරුන් බිය ගැන්වීමට, තර්ජනයට ලක් කිරීමට එමඟින් අදහස් නොකරන ලදී. යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. 

    Latest News